ප්ලාස්ටික් කැබලි කෝටි ගණනක් ලංකාවේ මුහුදට හෙළු නෞකාව ගැන සැඟවුණු තොරතුරු සොයා ගිය හැටි

ප්ලාස්ටික් කැබලි කෝටි ගණනක් ලංකාවේ මුහුදට හෙළු නෞකාව ගැන සැඟවුණු තොරතුරු සොයා ගිය හැටි

ලංකාවේ මුහුදු තීරයේදී ගිණිබත් වුණ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සමුද්‍ර ජීවීන්ට, පරිසරයට, ධීවරයින්ට සහ සමස්තයක් වශයෙන් සමාජයට වුණ හානිය  කිසිම වන්දි මුදලකින් - කොයි තරම් විශාල වුණත් - මනින්න බැහැ.

විශේෂයෙන්ම ඒක තමයි එතෙක්, මෙතෙක් ලෝකයේ නෞකාවකින් සාගරයට සිදු කෙරුණ දැවැන්තම ප්ලාස්ටික් ව්‍යසනය. X-Press Pearl නැවෙන් ලංකාවේ මුහුදට හෙළපු ප්ලාස්ටික් කැබලිති (nurdles) ප්‍රමාණය කෝටි ගණනක්.

ඒත් ඒ හානියේ මූල්‍යමය අලාභය හෝ පාරිසරික විනාශය හෝ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න ලංකාවේ පාලකයින් අපේ රටේ විද්‍යාඥයින්ට අවසර දුන්නේ නැහැ. විනාශය වුණේ ගෝටා ගේ පාලනය කාලේ. වන්දිය ගැන කටයුතු (නො)කළේ රනිල්ගේ පාලනය කාලේ.

ඇත්තටම මේ තරම් මහා ව්‍යසනයක් ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ, එවක නීතිපති සංජේ රාජරත්නම්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් - මේ හැම දෙනාම ඒ තරම් ඇල්මැරුණු ආකල්පයකින් වැඩ කළේ ඇයිද කියන එක අදටත් අබිරහසක්.

ඔය අතරේ තමයි, ලංකාවේ ආණ්ඩුව ඒ ගැන තැකීමක් කරන්නේ නැත්නම් අපිවත් සොයමු කියල මගේ සමීප මිතුරියක් සහ පාරිසරික මාධ්‍යවේදිනියක් වන ලියානා හොසිය (Leana Hosea) මට යෝජනා කළේ. ඒ ගිය අවුරුද්දේ මැද හරියේ. ඒ දවස්වල මම හිටියේ මොස්කව් වල.

ලියානා පරිසරවේදිනියක් වගේම ශ්‍රී ලාංකික සම්භවයක් තියන බෞද්ධ කාන්තාවක්. ඇය ලෝකේ පුරාම පරිසර ගැටළු ගැන ගොඩක් වාර්තා කරලා තියෙනව.

ඉතින් ලියානා සම-නිර්මාතෘවරියක වන Watershed Investigations ආයතනයත් ලෝකයේ සාගර ආරක්ෂා කිරීම වෙනුවෙන්ම කැපවුණ පුලිට්සර් සෙන්ටර් එකේ Ocean Reporting Network (ORN) එකත් මේ වැඩේට බොහොම උනන්දුවෙන් සම්බන්ධ වුණා.

ORN එකේ Fellowship එකක් අරගෙන මම ලංකාවට ඇවිත් ප්‍රධාන වශයෙන්ම වංචා, දූෂණ චෝදනාව සහ අධිකරණ කටයුතු ගැන සොයා බැලුව. මේකට සම්බන්ධ හැම රාජ්‍ය ආයතනයකටම - නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු - තොරතුරු දැනගැනීමේ ඉල්ලුම්පත් යොමු කළා. ඒ අතරේ ලියානා විද්‍යාත්මක කරුණු ගවේෂණය ආරම්භ කළා.

රනිල් වික්‍රමසිංහ පාලනය ලොකු උනන්දුවක් දැක්වුවේ නැතත්, මේ ව්‍යසනයට අදාල දූෂණ චෝදනාව ගැන සොයන්න මාලිමාවේ ආණ්ඩුව ලොකු උනන්දුවක් දක්වන බවක් තමයි මුලින් දකින්න තිබුණේ. කොටින්ම විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු විදියට අනුර කුමාර දිසානායක සහ විජිත හේරත් දෙන්නම ඒ ගැන කිහිප වරක්ම පාර්ලිමේන්තුවේ හඬ නගල තිබුණ.

ඒ ගැන අලුත් විමර්ශනයක් ආරම්භ කරන බව එවකට කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මා එක්ක කීවේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ. විශේෂයෙන්ම මේ ව්‍යසනය වුණේ ඔහුගේ දිස්ත්‍රික්කයේ. (https://www.aljazeera.com/.../sri-lanka-to-probe...)

නමුත් කාලයත් එක්කම ඒ ගැන ජාජබ ආණ්ඩුවේ උනන්දුවත් හීන් සීරුවේ නැතිවෙලා ගියා. 

කොටින්ම මේ දූෂණ චෝදනාව ගැන හොයන්න පරිසර ඇමතිතුමා පසුගිය ජුනි මාසෙ අලුත් කමිටුවක් පත්කරනව කියල අපේ මිත්‍ර රවීන්ද්‍ර කාරියවසම් බීබීසී යට කිවුව. ඒ කමිටුවටත් වෙච්ච දෙයක් නෑ.

ඒ අතරේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගවෙමින් තිබුණ. නෞකා හිමියන්ට විරුද්ධව තවත් අපරාධ නඩුවක් පහල උසාවියක විභාග වෙනව. ඒ නඩුවේ විත්තිකරුවෙක් වන නෞකාවේ කපිතාන් Vitaly Tyutkalo ට තවමත් ලංකාවෙන් පිටවෙන්න අවසර නැහැ.

මම හැකි හැම දවසකම අධිකරණ විභාගයටත් සම්බන්ධ වෙමින් එතෙක් හෙළි වෙලා නොතිබුණ කරුණු ගවේෂණය කරන්න පටන් ගත්ත. Pulitzer Centre  එකේ Ocean Reporting Network එකෙනුත් Watershed Investigation ආයතනයෙනුත් ලැබුණ අනුග්‍රහය මේ වැඩේට අපිට ලොකු හයියක් වුණා.

මම දාපු ගොඩක් තොරතුරු දැනගැනීමේ (RTI) ඉල්ලුම්පත්‍රවලට නිසි පිළිතුරක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලිසියත් සෘජු පිළිතුරක් දීම වෙනුවට වචන හරඹයක යෙදෙමින් හිටපු හැඩක් තමයි පේන්න තිබුණෙ.

ලංකාවේ අධිකරණ ක්‍රියාදාමය විමසමින්, ඊට අදාළ හැකි සෑම ලේඛනයක්ම එකතු කරන අතරේම මම පුලිට්සර් සෙන්ටර් එකේ ටීම් එකත් එක්ක දූෂණ චෝදනාව ගැන ලෝකේ පුරා ඩේටාබේස් පීර, පීර තොරතුරු හෙවුව. ඒ චෝදනාවේ අග, මුල තවමත් හොයාගන්න බැරි වුණත් අපි තවමත් ඒ ගවේෂණය අත්හැරලා නැහැ.

ඒ අතරේ ලියානා ලංකාවෙත්, බ්‍රිතාන්‍යයෙත් විද්‍යාඥයින් එක්ක කතාකරමින් මේකේ විද්‍යාත්මක පැත්ත හොයාබලන්න පටන් ගත්ත. මම දිගටම ලංකාවේ ඉන්න අතරේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙකුත් එක්ක ලියානා ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ලංකාවට ආව. අපි මීගමුව කලපුවෙ මුහුදු මඩත්, මීගමුවෙන් අල්ලපු මාළුන්ගේ අක්මාවේ සාම්පලුත් එකතුකරගත්ත. මහාචාර්ය මෙත්තිකා විතානගේ එක්ක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් පිරිසකුත් අපිත් එක්ක එකතුවුනා.

මාළුන්ගේ අක්මා සාම්පල ලන්ඩන් ගෙනියන්න පුළුවන් විදියට සකස් කරලා දුන්නේ වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චමිලා ජයසිංහ. පරීක්ෂණ සඳහා කල් තියාගන්න පුළුවන් විදියට වයඹ සරසවියේදී මාළුන්ගේ අක්මා සාම්පල සකස් කළේ freeze-drying කියන ක්‍රමවේදයට.   

මැන්චෙස්ටර් නගරයේ මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ඒ සාම්පල ගැන පරීක්ෂණ කරන අතරේ මේ අවුරුද්දේ මැයි මාසේ ලියානා, වැඩසටන නිෂ්පාදක ඇලෙක්ස් ලාස්ට් (Alex Last) එක්ක ආයෙත් ලංකාවට ආවේ, අපේ සොයා ගැනීම් ගැන බීබීසී ගුවන් විදුලි විශේෂාංගයක් කරන්න. ඒ වෙලාවේ මීගමුවේදී අපි සරත් ඉද්දමල්ගොඩ පියතුමා සහ ධීවරයිනුත් මුණ ගැසුනා.

බීබීසී ලෝක සේවයේ Assignment වැඩසටහනට සම්පාදනය කරපු මේ ගුවන්විදුලි විශේෂාංගය (https://www.bbc.co.uk/programmes/w3ct6rbp)  අපේ උත්සාහයේ එක ප්‍රතිඵලයක්. මේ ප්ලාස්ටික් නර්ඩ්ල්ස් මුහුදෙ තියන තාක් කල් තදින් විෂ උරාගන්නව කියන එක අපේ ගවේෂණයේ ප්‍රධාන සොයා ගැනීමක්. ඒ plastic nurdles බොහොමයක් අපේ මුහුදට ආවෙ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් බව රහසක් නෙවෙයි. මාළු බිත්තර එහෙමත් නැත්නම් රස කෑමක් කියල හිතාගෙන මාළු මේ ප්ලාස්ටික් බෝල ගිලින්න බොහෝ දුරට ඉඩ තියෙනව. ඒ ප්ලාස්ටික් සමුද්‍ර ජීවීන්ට අහිතකර විතරක් නෙවෙයි, ඒකෙන් කියවෙන්නෙ එහෙම ප්ලාස්ටික් ගිලපු මාළු කෑම ශරීර සෞඛ්‍යයට හිතකර නැහැ කියන එක.

අපේ ගවේෂණය ගැන තවත් වාර්තා කිහිපයක් මේ වනවිටත් සකස්වෙමින් තියෙනවා. 

ඒ අතරේ ශ්‍රේෂ්ඨාධිකරණය හෙට (ජුලි 24) මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. පදවියෙන් විශ්‍රාම ගන්නා අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දුගේ අවසාන නඩු තීන්දුවත් ඒකයි. ඒ තීන්දුව කවරක් වුවත්, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයත් එක්ක මතුවුණ තවත් පැතිකඩ සහ ආන්දෝලන ගණනාවක් ගැන තව බොහෝ දේ සොයා බලන්න ඉතිරිවෙලා තියෙනව. විශේෂයෙන්ම වන්දි නඩුව කඩාකප්පල් කරන්න අල්ලස් ගත්ත කියන ආන්දෝලනය ගැන මූලික අයිතිවාසිකම් පෙත්සමේ ලොකු අවධානයක් යොමුවුණේ නැහැ.

ඒ වගේම  ශ්‍රේෂ්ඨාධිකරණය FR petition එක ගැන තීන්දුව දුන්න කියන්නේ එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන අධිකරණ ක්‍රියාවලිය එතනින් අවසන් කියන එක නෙවෙයි - මට මතකයි ඒ ගැන යසන්ත කෝදාගොඩ විනිශ්චයකාර තුමත් ප්‍රසිද්ධ අධිකරණයේ නීතිපති ගෙන් විමසීමක් කළා; සිංගප්පූරුවේ නඩු විභාගය තවමත් ආරම්භ වෙලාවත් නැහැ. බ්‍රිතාන්‍ය අධිකරණයේ තවත් නඩුවක් තියෙනවා. ඒ වගේම තමයි, තමන්ට සාධාරණය ඉටු වුණේ නැහැ කියල හිතනවා නම් වින්දිතයින්ට අවශ්‍ය නම් ආයෙත් අධිකරණය ඉදිරියට යාමේ හැකියාවත් මේ නඩු තීන්දුව නිසා අහිමිවෙන්නේ නැහැ.

|සරෝජ් පතිරණ

2025 ජුලි 23