දකුණු ආසියාවේ සෑම විනාඩියකටම කෝවිඞ් මරණ තුනක්

දකුණු ආසියාවේ සෑම විනාඩියකටම කෝවිඞ් මරණ තුනක්

ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් නියෝජනය, ශ්‍රී ලංකාවද ඇතුළත් දකුණු ආසියා කලාපයේ මේ වනවිට කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 282ක් ඉක්මවා ඇති අතර  ගතවෙන සෑම විනාඩියකටම දකුණු ආසියානුවන් තුන්දෙනෙක් කොරෝනා රෝගයෙන් මියයන බවද වාර්තාවේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය දකුණු ආසියාව සම්බන්ධව නිකුත් කරන නවතම සතිපතා වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව අනුව දැනට ලොව කොරෝනා ව්‍යාප්තිය අතින් තුන්වන තැනට පත්ව ඇති මේ කලාපයේ පසුගිය සතිහතරක කාලය තුළ දෛනිකව සිදුවන මරණ මෙන්ම හඳුනාගන්නා ආසාදිතයන් ප්‍රමාණය ඉතා වේගයෙන් ඉහළ යන බැවින් එය ලොව අන් කලාප අභිබවමින් අනතුරුදායක මට්ටමකට පත්වෙමින් ඇති බව තහවුරු වී තිබේ. කලාපයට අයත් රටවල් 11න්ම මේ වනවිට ආසාදිතයන් වාර්තා වී ඇත. ඒ අනුව කොරෝනා රෝගයේ කේන්ද්‍රස්ථානයක් බවට දකුණු ආසියාව පත්වී හමාරය.

වඩාත් බරපතළ ලෙස රෝගය පැතිරෙන නේපාලයෙන් ලැබෙන නවතම වාර්තා අනුව සෞඛ්‍ය පරීක්ෂණයට ලක්වන සෑම තැනැත්තන් දෙදෙනකුගෙන් එක් අයකු ආසාදිතයකු බව හඳුනාගෙන තිබේ. ඒ අනුව ලොව වඩාත්ම වේගයෙන් කොවිඩ් ව්‍යාප්ත වන රට බවට නේපාලය පත්ව ඇත.