ජපන් රැකියා පෙන්වා මුදල් ගැරුවාට වසර 15ක් හිරේ

ජපන් රැකියා පෙන්වා මුදල් ගැරුවාට වසර 15ක් හිරේ
ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 15 දෙනකුකට වැඩි  පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කළ බවට වරදකරුවූ කොළඹ 07 කුරුදුවත්ත රොස්මිඩ් පෙදෙසේ විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් වසර 15ක සිරදඬුවමක් නියම කර තිබේ.
 
මෙම දඬුවම නියම වූයේ අදාළ නඩු තීන්දුව ඊයේ (03) ප්‍රකාශයට පත් කරමිනි.
 
පැමිණීලිකරුවන්ගෙන් වංචා කළ රුපියල් ලක්ෂ 50කට අධික මුදල යළි පැමිණීලිකරුවන්ට ගෙවන ලෙසත්, එසේ නොගෙවන්නේ නම් එක් නඩුවක් සදහා ගෙවිය යුතු මුදල වෙනුවෙන් මාස 06 බැගින් වසර හත හමාරක ලිහිල් සිරදඩුවමක් ද අධිකරණය විසින් චුදිතට නියම කරනු ලැබ ඇත.
 
මෙලෙස සිරදඬුවම් නියම වූයේ මේ වන විට අධිකරණය මග හැර සිටින විවෘත වරෙන්තුකරුවකු වන නො. 25/ 27, ශ්‍රී විපුල සේන මාවත, මරදාන, කොළඹ 10 පදිංචි පුබුදු මනෝජ් රණවක පතිරණ හෙවත් ‘රොෂාන්’ නැමැත්තාටය.
 
මෙම චූදිත නොමැතිව අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, මුල් අවස්ථාවේදී චූදිත අධිකරණයේ පෙනී සිටිමින් වංචා කළ මුදලින් සුලු කොටසක් පැමිණීලිකරුවන්ට ගෙවා තිබූ බව ද අධිකරණයේදී කරුණු හෙළි විණී. 
 
මෙම චූදිතට එරෙහිව අධිකරණය විසින් මේ වන විට විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කරනු ලැබ ඇත.