කොරෝනාවෙන් මහපාරට වැටුණු රටවිරුවෝ

කොරෝනාවෙන් මහපාරට වැටුණු රටවිරුවෝ

‘ඇත්තටම ගෝඨාභය මහතා දිනවන්න ඩුබායි රටෙන් සිය දහස් ගණන් මිනිසුන් තම වියදමින් මව් රට ගියා. එහෙත් අද ඔවුන් මේ රටේ ආහාර ටිකක් නැතිව පාරට වැටිලා, ගස් යට, පාක් වල අනන්ත දුක් විඳිද්දි, රජයෙන් ඔවුන් ලද දෙයක් නෑ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අබමල් රේණුවක දෙයක් මේ මිනිසුන් වෙනුවෙන් කළේ නෑ. විදේශ අමාත්‍යාංශයෙන් කිසිවක් වුණේ නෑ. අපි උදව් ඉල්ලලා වොයිස් මැසේජ් යැව්වා. උදව් ලැබුණේ නෑ.’

කොරෝනා ව්‍යසනය නිසා වඩාත්ම අසරණ වූ පිරිසක් වන්නේ තම රටෙන් බැහැරව වෙනත් රටවල රැකියා කිරීමට ගිය පිරිස්ය. මේ අනුව අපේ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයෝ ද මේ වසංගත තත්ත්වය හමුවේ බලවත් අසරණ තත්ත්වයට පත් විය. තවමත් අසරණ වී සිටිති. තවමත් බොහෝ දෙනෙක් තම මව්රටට පැමිණීමේ අපේක්ෂාවෙන් අසරණව සිටින බව විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ගේ නොයෙකුත් සංවිධාන අපට පෙන්වා දෙන කරුණකි. අපට විදේශ විනිමය ලැබෙන ප‍්‍රධානතම ප‍්‍රභවයක් වන්නේ මේ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් විසින් මෙරටට එවන විදේශ විනිමය පේ‍්‍රෂණ මුදල්ය. 2018 වසරේ දී විදෙස්ගත ශ‍්‍රමිකයන් මෙරටට එවන ලද මුළු විදේශ විනිමය ප‍්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 7015 ක් පමණ විය. එම ප‍්‍රමාණය පාස්කු ප‍්‍රහාරය සිදු වූ 2019 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 6717 ක් දක්වා තරමක් අඩු විය. එසේම සංචාරක ඉපයුම් ගත් විට 2018 වසරේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 4381 සිට 2019 වසරේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 3607 ක් දක්වා දක්වා අඩු විය. 2019 වසරේ සිදු වූ පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාරය ඊට ප‍්‍රධාන හේතුවයි. මේ සංඛ්‍යාලේඛන අනුව අපට පැහැදිලි වන්නේ සංචාරක ඉපයුමට වඩා සැලකිය යුතු ඉහළ විදේශ විනිමය ආදායමක් අපේ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් අප රටට උපයා දෙන බවයි. මේ නිසා කොරෝනාවෙන් අසරණ වී සිටින විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් ගැන අප මීට වඩා සැලකිල්ලක් දැක්විය යුතු බව අපගේ අදහසයි. ඒ අනුව මේ ලිපියෙන් අප විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ඩුබායිහි අතරමං වූ ලාංකිකයන් ගැන කතා කිරීමටය.

ඩුබායි රට ඇතුළු අනෙකුත් මැද පෙරදිග රටවලට ගිය අපේ ශ‍්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් විදේශ විනිමය අපේ රටට එවනු ලබයි. එසේම පැවති යහපාලන රජය පෙරළා දමා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට ද මේ විදෙස්ගත ශ‍්‍රී ලාංකික පිරිස් විශාල දායකත්වයක් දැක් වූ බව ද අපට මතකය. මේ ඇතැම් අය තම වියදමින් ගුවන් ටිකට්පත් පවා ගෙන මෙරටට ජන්දය ප‍්‍රකාශ කිරීමට පැමිණ ගියේය. මේ බොහෝ දෙනෙක් කොරෝනා වසංගතය නිසා බලවත් අසරණභාවයකට පත් වූහ. මේ අයගෙන් ඇතැම් අය මේ වන විට ශ‍්‍රී ලංකාවට පැමිණ තිබුණත් තවත් බොහෝ දෙනෙක් මව් රටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව ද කිව යුතුය. මේ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් කියන්නේ වත්මන් රජය මේ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඉතා මන්දගාමී පිළිවෙතක් අනුගමනය කරන බවයි. මේ සම්බන්ධයෙන් මේ විදෙස්ගත ඇතැම් අපේ ශ‍්‍රී ලාංකිකයන් තම ජංගම දුරකථන මාර්ගයෙන් අන්තර්ජාලයට වීඩියෝ පට පවා මුදා හරිමින් තමා ඇතුළු ශ‍්‍රී ලාංකික පිරිස් මුහුණ දී සිටින ප‍්‍රශ්න සහ ගැටලූ ඉදිරිපත් කර ඇත. ඒවා අන්තරජාලය ඔස්සේ මෙරට වෙසෙන ජනයා ද ඕනෑ තරම් දැක ඇතුවාට කිසිම සැකයක් නැත. රජයේ බලධාරීන්ට ද මේ ප‍්‍රශ්න සහ ගැටලූ ඕනෑ තරම් යොමු කර ඇතුවාට ද සැකයක් නැත. මේ මොහොතේ සෑම දෙයක්ම රජයටම කිරීමට අපහසු විය හැකිය. එහෙත් අපේ විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ මීට වඩා විධිමත් සහ කඩිනම් කළ යුතුව තිබෙන බව විදෙස්ගත ශ‍්‍රී ලාංකික සංවිධාන නියෝජිතයෝ කියා සිටිති. එසේම ඔවුන් මෙරටට පැමිණි පසුව ඔවුන්ගේ කැමැත්ත අනුව ඒ අයට අධික වියදම් දැරීමට සිදුවන හෝටල් නිරෝධායනයට යොමු නොකර රජයේ නිරෝධායන වැඩපිළිවෙළට යොමු කළ යුතුව ද තිබේ.

2020 වසර ලැබූ පසුව සතුටෙන්, සිනාවෙන් පිරුණු ඩුබායි දේශයට ද කොරෝනා මාරයා අත වැනීමට පටන් ගත්තේය. ඒ අනුව මාර්තු මාසය නිමා වනවිට ඩුබායි රටේත් ඇඳිරි නීතිය පැනවීම ඇතුළු රට වසා දැමීමේ ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලදී. මේ නිසා ඒ වන විටත් වීසා නිමාවීමෙන් හෝ වෙනත් විවිධ හේතූන් නිසා ලංකාවට යෑමට බලා සිටි සිය දහස් ගණන් දෙනා කරකියා ගතහැකි දෙයක් නැතිව ඉමහත් අසරණ තත්ත්වයට පත් වූහ. කොරෝනා රෝග භිය, මරණ භියට අමතරව රැකියා නැතිකම, සිටීමට තැනක් නැතිකම, තමන් සතුව තිබූ මුදල් අවසන් වීම සහ ඒ නිසාම එදා වේල කෑමට ක‍්‍රමයක් පවා සොයාගත නොහැකිව එරට වෙසෙන ලාංකිකයෝ අසරණ විය. එසේම ඔවුන් සංඛ්‍යාවෙන්ද දිනෙන් දින ඉහළ ගියේය. මේ පසුබිම තුළ එරට වෙසෙන යමක් කමක් කරගත හැකි පිරිස් මේ අයගේ පිහිටට පැමිණි බව සාජාහි සිටින ශ‍්‍රී ලාංකික මාධ්‍යවේදිනියක් වන සුරංගි අතුකෝරල මේ ලියුම්කරුට නොයෙක්වර දැනුම් දුන්නේය. එරට වෙසෙන ‘මාෂම්මා’ නමින් හඳුන්වන මාෂා ඩයස් මහත්මිය ඇතුළු ශ‍්‍රී ලාංකික පිරිස් මේ සඳහා විශාල ලෙස දායක වී තිබේ. කොරෝනා වසංගතය නිසා මව්බිමට පැමිණීමට නොහැකිව එරට සිර වුණු ජනයාගේ ප‍්‍රශ්නය දිනෙන් දින බලවත් වෙමින් පැවතිණි. මේ අයට පිහිට වීම සඳහාම ‘කොරෝනාට එරෙහි මනුෂ්‍යත්වය’ නම් එකමුතුවක් ද ලහි ලහියේම පිහිටුවා ගනු ලැබිණි. ඒ එම අසරණ වී සටින ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් හැකි යමක් කිරීමේ අරමුණෙනි. එලෙස පිහිටුවාගත් එම එකමුතුව විසින් අදටත් ඩුබායිහි අසරණ වී සිටින ශ‍්‍රී ලාංකිකයන්ට පිහිට වෙමින් සිටී. ආරක්ෂිත නිවාසවලට වී ගුවන් යානා එනතෙක් බලා සිටි හා අදටත් බලා සිටින සිය ගණන් ලාංකිකයන්ට ඩුබායි දේශයේ සිට එම සත්කාරයේ යෙදෙන මාෂා ඩයස් මහත්මිය ඒ සම්බන්ධයෙන් මෙසේ පවසයි.

‘කොරෝනා වැඩිවෙලා රට වහද්දිම මට තේරුනා ඊළඟට එන්නේ ලොකුම ප‍්‍රශ්නයක් බව. ඒ වෙලාවේ මම අපේ හිතවත් ශාන්ත, විනිතා දිලීප, ගංගා වගේ කීප දෙනෙක් එක්ක එකතුවෙලා තමයි ‘කොරෝනාට එරෙහි මනුෂ්‍යත්වය’ කුඩා කණ්ඩායමක් පිහිටුවාගෙන කෑම නැති, ඉන්න තැන් නැති අයට වගේම ගර්භණී අයට උදව් කරන්න ගත්තේ. එහෙම කරන අතරෙම මම කොන්සල් කාර්යාලය වගේම තානාපති කාර්යාලයත් දැනුවත් කළා මුලින්ම. ඩුබායිවල ඇඳිරි නීතිය දාලා දෙවෙනි සතිය වෙද්දි අවතැන් වුණු අය සහ කෑම නැති අය එන්න එන්නම වැඩි වුණා. තුන්වෙනි සතියෙදි කොන්සල් ජනරාල්තුමා කතා කරලම කිව්වා මේ මේ ස්ථානවලට අවධානය යොමු කරන්න කියලා.

අපේ වට්සැප් ගෲප් එකෙයි, ෆේස්බුක් එකෙයි විස්තර දැමුවාම දන්න හිතවත් අය අපිට භාණ්ඩ ලබා දුන්නා. ඒ වෙද්දි කොවිඞ් - 19 කියලා තව සංවිධානයක් තිබ්බා. ඒ අය වගේම සම්පත් කුමාරසිංහ සොයුරා අපට උදව් කළා. ඒ වෙද්දි තව ගොඩක් අය අපේ කණ්ඩායමට එකතු වුණා. පළමුවෙන්ම ගුවන් යානය එද්දි අපිට ගොඩක් ගර්භණී අය, විසිට් ආපු අය වගේම රෝගීනුත් සිටියා. ඒ පළවෙනි යානයෙන් අපේ අය අට දෙනෙක් විතර යවන්න අපි කැප වුණා. ඇත්තටම ගොඩක්ම ගැටලූ වලට මුහුණ පාලා තිබුණේ විසිට් වීසා වලින් ආපු අය. කාලය ඉවර වෙද්දි එයාලට යෑමට නොහැකියාව හා මුදල් නැතිකම නිසාම ඒ අය විශාල ගැටලූ වලට මුහුණ දීලා සිටිද්දි අපට සිදු වුණා ඔවුන්ට නවාතැන් සොයා දීමට”

ඩුබායි රටට ශ‍්‍රී ලංකාවෙන් පැමිණි ‘පළමුවෙනි ගුවන් යානයෙන් ගැබිනි මව්වරු 35ක් මෙරටට පැමිණ ඇත. එහෙත් පවුල් තුනක් විවිධ හේතු මත යවාගත නොහැකිව තිබේ. ශ‍්‍රී ලංකාවට යැවීමට නොහැකිව එසේ ඉතිරි වූ අයත් ඉන් පසුව එකතු වූ මව්වරුත් වෙනුවෙන් ‘කොරෝනාට එරෙහි මනුෂ්‍යත්වය’ සංවිධානය මගින් තවත් අයගේ සහායද ඇතිව ඔවුන්ට අවශ්‍ය බෙහෙත් සහ කෑම බීම යනාදිය ලබා දීමේ වැඩ පිළිවෙළක් දියත් කර ඇත. මේ කාලය වන විට ඩුබායි සිටින ශ‍්‍රී ලාංකිකයන්ට පිහිට වන ‘සහන’ සංවිධානයත් ආධාර බෙදාහැරීම ආරම්භ කර තිබිණි. ඔවුන්ටද ඔරොත්තු නොදෙන තරමට විවිධ ස්ථානවල සිටි ලාංකික පිරිස් වැඩිවෙමින් පැවති අතර ඒ අයට පිහිට වීමට ‘කොරෝනාට එරෙහි මනුෂ්‍යත්වය’ සංවිධානය දායක විය. ඔවුන් ගර්භණී මව්වරුන්ට මුල් කාලයේ දී පිසූ ආහාර සිකුරාදාට පමණක් ලබා දී පසුව සතියට දින තුනක් ඔවුන්ට පිසූ ආහාර ලබා දීමට කටයුතු කර ඇත. මේ කටයුතු කරගෙන යන අතරතුර අනුන්ට උදව් කිරීමට කැමති තවත් බොහෝ පිරිස් ද මේ අය සමග මෙම සද්කාර්ය කිරීමට එකතු වී ඇත. මේ ඇතැම් අය අපේ රටෙන් ගුවන් යානයක් එනතුරු මාසය, දෙක වැනි දීර්ඝ කාලයක් පවුල් කීපයකට ආහාර ලබා දීමට කටයුතු කර ඇත. මේ ආහාර අපේ අසරණ වූ ශ‍්‍රී ලාංකික පිරිස් වෙත බෙදා දීම සඳහා ද ශ‍්‍රී ලාංකික පිරිස් උපකාර කර ඇති අතර විශේෂයෙන්ම සාජා, අල් නාදා මෙන්ම ජෙබල් අලි වැනි දුර බැහැර ප‍්‍රදේශවලට පවා ආහාරපාන ප‍්‍රවාහනය කිරීමට කටයුතු කර තිබේ. එසේම ඩුබායිහි ලංකාරාම විහාරයට දානයට ලැබී ඉතිරි වන සියලූ ආහාර ද දිනකට 20-25කට පමණ එම ස්වාමින්වහන්සේ විසින් ලබා දී තිබේ. මාෂා ඩයස් මහත්මිය ඩුබායි රටට පැමිණ වසර අවුරුදු 32ක් පමණ ගත වී තිබේ. මුලින්ම රැුකියාවක් කිරීමට එහි ගිය ඇය පසුව සේවක පිරිස් යොදවමින් නිවාස හා කාර්යාල පිරිසිදු කිරීමේ ආයතනයක් ආරම්භ කර ඇත. වසර පහළොවක් පුරා ඇය මේ ව්‍යාපාරය කරන නිසා යම් ආර්ථික ස්ථාවර බවක් ඇති බැවින් ඇය මූලික වී මේ සත්කාරක කටයුතු ඇයගේ පෞද්ගලික මුදලින් පටන් ගෙන තිබෙන අතර පසුව ඇයට සහාය දෙමින් මේ සඳහා තවත් පිරිස් එකතු වී තිබේ. මේ සත්කාරක කටයුතු වලට අබුඩාබිහි ශ‍්‍රී ලංකා තානාපතිවරයා මෙන්ම ඩුබායි කොන්සල් ජනරාල්වරයා ද සිය සහාය ලබා දී තිබේ. මුලදී සිටි නේවාසික සංඛ්‍යාව හත්අට දෙනෙක් වුවත් පසුව එම පිරිස වැඩි වූ බැවින් ඒ අය වෙනුවෙන් කාමර තුනක් සපයාගෙන ඇත්තේ එම නිලධාරීන්ගේද සහයෝගයෙනි.

ගර්භණී මව්වරු ලංකාවට යැවීමට ප‍්‍රමුඛත්වයක් ලබා දුන්නත් මුලදී ඒ සියලූ දෙනාම යැවීමට නොහැකි වී තිබේ. ගුවන් යානා ප‍්‍රශ්න මෙන්ම එම රටේ නීති රීති ප‍්‍රශ්න නිසාත් ශ‍්‍රී ලාංකික මව්වරු හත් දෙනකුටම ඩුබායි රටේදිම දරුවන් ලැබී ඇති අතර එක් පවුලක දරුවෙක් මිය ගොස් ද තිබේ. ඒ පවුලේ අයට නවාතැන් සහ කෑම බීම සපයා දී ලංකාවට එවීමට මේ පිරිස් ක‍්‍රියා කර ඇත. එසේම ඩුබායි ගුවන්තොටුපළේ සේවය කළ ලාංකිකයෝ 47 දෙනකුට එකවරම රැකියා අහිමි වී තිබේ. ඔවුන් ඉතාම අගහිඟතා මැද සිටියදී මාස දෙකක පමණ කාලයක් වියළි ආහාර සපයමින් ඔවුන් රැුක බලාගෙන ඇති අතර මේ සඳහා ලංකාරාම විහාරයෙන් ද ආධාර උපකාර ලැබී ඇත. මේ කාර්යයන් සඳහා ලංකාවේ අය පමණක් නොව ඩුබායිහි වෙසෙන වෙනත් රටවැසියන් ද බොහෝ උපකාර කර ඇත. එක් මසක මගීන් 160 දෙනෙක් ගිය ගුවන් යානයක ගුවන් ටිකට් 55ක්ම ලබා දී ඇත්තේ විදේශිකයන් විසිනි. එසේම ගිය වසරේ (2020* ජූලි 5 වෙනිදා ලාංකික කාන්තාවක් සිය දිවිනසාගෙන ඇති අතර කොරෝනා නිසා දේහය ලංකාවට යැවීමට නොහැකි වී තිබේ. මාෂා ඩයස් මහත්මිය එම දේහය භාරගෙන ඇයගේ සැමියා හා පුතා සමග එක්ව ආදාහනය කිරීමට ද උපකාර කර ඇත. එසේම කොරෝනා හැදුණු ලාංකිකයන්ට දේශීය බෙහෙත් වර්ග සපයා දීමට කිලෝමීටර් ගණන් ගමන් කරමින් මේ පිරිස් කටයුතු කර තිබේ. මේ සියලූ කටයුතුවලට ඩුබායි ශ‍්‍රී ලංකා තානාපති සහ කොන්සල් ජනරාල්වරයා මෙන්ම ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදයේ නියෝජිතයින් ද සහාය ලබා දී ඇති බව ද කෘතවේදීව සිහිපත් කළ යුතුය.

ඩුබායි දේශයේ අසරණ වී සිටින ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙසේ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් සත්කාර කටයුතු සිදු කළත් අපේ රජය පාර්ශ්වයෙන් ඩුබායිවල අසරණ වූ ජනතාව වෙනුවෙන් බලාපොරොත්තු වූ දේ ඉටු නොවූ බව ද ඔවුහු ඉතා කනගාටුවෙන් කියා සිටියහ. ඒ සම්බන්ධයෙන් මේ සත්කාර කටයුතු කරන අයගේ අදහස් මෙසේය.

‘ඇත්තටම ගෝඨාභය මහතා දිනවන්න ඩුබායි රටෙන් සිය දහස් ගණන් මිනිසුන් තම වියදමින් මව් රට ගියා. එහෙත් අද ඔවුන් මේ රටේ ආහාර ටිකක් නැතිව පාරට වැටිලා ගස් යට පාක් වල අනන්ත දුක් විඳිද්දි, රජයෙන් ඔවුන් ලද දෙයක් නෑ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අබමල් රේණුවක දෙයක් මේ මිනිසුන් වෙනුවෙන් කළේ නෑ. විදේශ අමාත්‍යාංශයෙන් කිසිවක් වුණේ නෑ. අපි උදව් ඉල්ලලා වොයිස් මැසේජ් යැව්වා. උදව් ලැබුණේ නෑ.’

මේ තත්ත්වය ඩුබායි රටට පමණක් නොව සියලූ විදෙස්ගත ශ‍්‍රමිකයන්ට අඩු වැඩි වශයෙන් අදාළය. දැනටත් පොරොත්තු ලේඛනයේ සිටින විශාල පිරිසක් සිටිති. එසේම බොහෝ විදෙස්ගත ශ‍්‍රමිකයන්ට වාර්ෂික නිවාඩු ලැබී තිබුණත් ඒ අයට පවා තම මව් රටට පැමිණීමට නොහැකිව තිබේ. එම රටවල අවතැන්ව, අසරණව තම මව් රටට යෑමේ බලාපොරොත්තුවෙන් තානාපති සහ කොන්සල් ජනරාල් කාර්යාලවල ලියාපදිංචි වූ පනස් දහසකට අධික පිරිසක් තවමත් සිටින බව අප අමතක කළ යුතු නැත. තම මව් රටට යෑමට දැඩි අවශ්‍යතාව තිබුණත් අසරණකමට ඔවුන් නිහඬව සිටිති. ඇතැමුන් එරට මහමඟ සිඟමනටද ඇද වැටී ඇත. මෙවැනි මොහොතක තම මව් රටට යෑම, ඒ මිනිසුන්ගේ මානුෂික අයිතියකි. සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා නම් කියන්නේ විදෙස්ගත ශ‍්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීම කඩිනම් කිරීමට රජය තීරණය කර ඇති බවයි. රටවිරුවන් කියා වචනයට පමණක් සීමා නොකර, මේ රජය විදෙස්ගතව අසරණව සිටින අපේ ජනයා මෙරටට ගෙන්වා ගැනීම කඩිනමින්ම කළ යුතු දෙයක් බව අපිත් රජයට කියා සිටිමු.

(දිවයින)