සෞදි අරාබියෙන් ගුවන් ගමන් තහනමක්

සෞදි අරාබියෙන් ගුවන් ගමන් තහනමක්
කොවිඩ් එන්නත ලබා ගෙන නොමැති පුද්ගලයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් තහනම් කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබේ.
 
සෞදි සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරමින් ප්‍රකාශකර ඇත්තේ කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ගුවන් මගීන්ට පමණක් අභ්‍යන්තර ගුවන් ගමන්වලට අවසර හිමිවෙන බවයි.
 
එමෙන්ම අදාළ තහනම 2021 සැප්තැම්බර් 01 වෙනි දින සිට බලපැවැත්වෙන බවත් අධිකාරිය පෙන්වා දෙයි.
 
වයස අවුරුදු 12ට අඩු සහ කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් නිදහස් වූ පුද්ගලයින්ට මෙම නීතිය අදාළ නොවෙන බවත් සඳහන්.
 
තවද රටවල් 20කට පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමද ඉවත්කර ඇති අතර සෞදි අරාබියට යාමට පෙර කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් විදෙස් ශ්‍රමිකයින්ට සෞදියට  නැවත පැමිණීමට අවසර හිමි බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ.