විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ බලහත්කාරයෙන් රුපියල් බවට පරිවර්තනය කරයි ද?

rupee-doller

විදේශගත ශ්‍රමිකයන්ගේ විදේශ මුදල් ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියල් බවට බලහත්කාරයෙන් පරිවර්තනය කෙරෙනු ඇතැ යි රාවයක් මේ දිනවල පැතිර පවතියි. මෙය විදෙස් රැකියාවල නිරත බොහෝ දෙනෙකුට පැවතින ගැටලුවකි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ මෙය මුළුමනින්ම අසත්‍ය පුවතක් බවයි.

එහෙත් මෙවැනි අස්ථාවරභාවයන් හා විනිමය අනුපාතිකය ඉතා සීග්‍රයෙන් අවප්‍රමාණය වී ඇතත් වාණිජ බැංකු වෙළදපල විනිමය අනුපාතිකයට වඩා අඩු අගයක් ගෙවීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ අයථා ක්‍රම හරහා ශ්‍රී ලංකාවට එවීම නිසා මේ වන විට එම මුදල් නීත්‍යානුකුල මුල්‍ය පද්ධතියෙන් බාහිරව සංසරණය වීම හේතුවෙන් රජයට එම විදේශ විනිමය අහිමිවී ඇත.

ඉරිදා (නොවැ. 14) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කළේ, "සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද යෝජනා සඳහා වූ ඉල්ලීම මඟින්, බලපත්‍රලාභී බැංකුවලට ලැබීමෙන් පසු විදේශගත ශ්‍රමිකයන්ගේ සියලුම ප්‍රේෂණ ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කිරීම අරමුණු කර ගෙන ඇති බවට පදනම් විරහිත අනුමානයන් පෞද්ගලික වුවමනාවන් සහිත පාර්ශව විසින් පතුරුවා හරිනු ලැබේ," යනුවෙනි.

මෙම කටකතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව තරයේ ප්‍රකාශ කරයි.

රජය විසින් ඩොලරයකට ගෙවනු ලබන අතිරේක රුපියල් දෙකක දිරිගැන්වීම යටතේ, ශ්‍රී ලංකා රුපියල්වලට ස්වෙච්ඡාවෙන් පරිවර්තනය කරනු ලබන විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවලින් 10%ක් 2021 මැයි 28 දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මහ බැංකුවට විකුණනු ඇතැ යි මහ බැංකුව අපේක්ෂා කෙරේ.

දැනටමත් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබෙමින් පවතින මෙම මූල්‍ය ප්‍රවාහය පදනම් කරගෙන, සුරැකුම්කරණ මූල්‍යන වැඩපිළිවෙලකට අවතීර්ණ වීමේ හැකියාව සොයා බැලීමේ යෝජනා සඳහා වූ ඉල්ලීම් සිදු කෙරෙන අතර, මෙම වැඩපිළිවෙල මඟින් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සඳහා කිසිදු බලපෑමක් ඇති නොවන බව මහ බැංකුව පවසයි.

අතීතයේ දී මෙන්ම ඉදිරියටත් තම ප්‍රේෂණ ශ්‍රී ලංකාවේ විදේශ මුදල් ගිණුම්වල අඛණ්ඩව, නිදහසේ රඳවා තබා ගැනීමට ‍‍හෝ, ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට ශ්‍රමිකයන්ට කිසිදු බාධාවක් නැත යනුවෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

ඒ අනුව, එවැනි අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටින අතරම, එම නිසා නොමඟ නොයන ලෙසට උපදෙස් දෙනු දී ඇත.

මේ අතර, කලින් ප්‍රකාශයට පත් කළ පරිදි, විධිමත් මාර්ග හරහා එවන අරමුදල් දිරිගැන්වීම හරහා විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉහළ නංවා ගැනීමට පහසුකම් සැලසීමට ශ්‍රී ලංකා මහ බැංකුව රජය සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් එහි සඳහන් කර ඇත.

එහෙත් එසේ විදේශයන හි මෙරටට ප්‍රේෂණය කරන මුදල් රුපියල්වලට හැරවිය යුතු බවට ජනතාව අතර මතයක් ඇති වී ඇත්තේ පසුගියදා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ නව රීති ඇතුළත් ගැසට් පත්‍රයත් නිකුත් කිරීමත් සමගය.

භාණ්ඩ හා සේවා අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීම සහ එම මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමට අදාළ රීතීන් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය ඔක්තෝම්බර් 28 වැනිදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

ඒ අනුව, අපනයනය කරන ලද සියලූ භාණ්ඩ හා ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන ලද සේවා වලට අදාල අපනයන ඉපැයීම් අදාළ පරිදි භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට හෝ සේවාවන් සැපයූ දිනයේ සිට දින 180 ක් ඇතුළත අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා වෙත ගෙන්විය යුතු ලෙස එම ගැසට් නිවේදනය මගින් නියෝග කර ඇත.

එමෙන්ම භාණ්ඩ හා සේවා අපනයනය සම්බන්ධයෙන් වන සියලුම අපනයන ඉපැයීම් ලද විගස, සියලු අපනයන ඉපැයීම් ලැබීම් වලට අදාළ සියලු ලේඛනගත සාක්ෂි එම මුදල් ලබන්නා වූ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ අවසර ලත් බලපත්‍රලාභි විශේෂ බැංකුවකට නොපමාව ඉදිරිපත් කළ යුතු බවට රීති ද පනවා ඇත.

එම රීතියට අනුව අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම භාණ්ඩ හා සේවා අපනයනකරුවෙකුම මාසයක් තුළ ශ්‍රී ලංකාවට ලැබෙන එම ආදායමෙන් අවසරලත් ගෙවීම් සඳහා පමණක් භාවිතයෙන් අනතුරුව, ශේෂය එළඹෙන මාසයේ 07 වන දින හෝ ඊට ප්‍රථම ශ්‍රී ලංකා රුපියල් වලට අනිවාර්යෙන්ම පරිවර්තනය කළ යුතුයැයි එහි වැඩිදුරත් සඳහන් වේ.

ප්‍රේෂණවල අඩුවීමක්

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට මුදල් එවීමේ අඩුවීමක්, නැතහොත් විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල අඩු වීමක් මෙවසරේ සැප්තැම්බර් මාසයේ දී පෙන්නුම් කර තිබේ.

සැප්තැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 49.7 කින් පහත වැටී ඇති බවට මහ බැංකු දත්ත පෙන්නුම් කරන අතර මේ වසරේ මුල් මාස නවය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සියයට 9.3කින් පහළ බැස ඇත.

විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ

2020 වසරේ සැප්තැම්බර් මාසයේ විදේශ සේවා නියුක්තිකයින් එවන ලද ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 703 ක් වූ එම ප්‍රේෂණ 2021 සැප්තැම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 353ක් දක්වා පහළ බැස ඇත.

විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ

චීන සංවර්ධන බැංකුවේ ඒකාබද්ධ ණය පහසුකම යටතේ වන ලැබීම්, සහ ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංගලාදේශ මහ බැංකුව අතර ඇතිකරගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුමේ ඉතිරි මුදල් ප්‍රමාණය ලැබීමත් සමග මෙම මාසය තුළ ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් වූ බව මහ බැංකුව පවසයි.

මේ අතර, වරායෙන් එතෙක් නිදහස්කර නොගත් අත්‍යාවශ්‍ය ආනයන භාණ්ඩ තොග නිදහස් කරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගත් ක්‍රියාමාර්ගත්, විනිමය අනුපාතිකය සම්බන්ධයෙන් ලබා දුන් මාර්‌ගෝපදේශ මඟින් අන්තර් බැංකු වෙළඳපොළේ බර තැබූ සාමාන්‍ය එතැන් විනිමය අනුපාතිකය මෙම මාසය තුළ අතිප්‍රමාණය වී ස්ථාවර වූ බවත් මහ බැංකුව තවදුරටත් සඳහන් කළේ ය.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය ඉරිදා ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් පැවසුවේ, මහ බැංකුව විසින් බැංකුවලින් මිලදී ගැනෙන රුපියල් බවට පරිවර්තිත ප්‍රේෂණවලින් උපරිම 10%ක් සුරැකුම්කරණය කිරීම 2014 වසරෙන් පසු කාලය තුළ සිදුකළ යුතුව තිබූ බව යි.

"නව නීතිවලින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණවලට බලපෑමක් නැහැ"

විධිමත් මාර්ග ඔස්සේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ගලා ඒම වැඩිදියුණු කිරීමට ඒකාබද්ධ උත්සාහයන් ගනිමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය වෙළඳපොළේ මෑතකාලීන ආතතීන්, ආර්ථිකය විවිධ ආකාරයේ කම්පනයන්ට නිරාවරණය කෙරෙන විදේශ ණය ගැනීම් වැඩි කිරීමට සාපේක්ෂව, ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විදේශ විනිමය ඉපැයීම් මත යැපීම ක්‍රමානුකූලව වැඩි කිරීමේ අවශ්‍යතාව ඔවුන් පෙන්වා දී ඇත.

මෙම පසුබිම තුළ, දැනට පවතින වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ලැබෙන ආදායම රට වෙත ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව ශක්තිමත් කිරීමට, සහ නිශ්චිත කාලසීමාවක් තුළ එම ආදායමෙන් යම් කොටසක් රුපියල්වලට පරිවර්තනය කිරීම සහතික කිරීමට, 2021 වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නීති පනතේ විධි විධාන යටතේ රීති නිකුත් කරන ලදී.

අසල්වැසි රටවල නීතිරීතිවලට සමාන වූ මෙම රීති ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලීම් මත වරින් වර මනාව සංශෝධනය කර ඇත.

අපනයන ආදායම් රට වෙත ගෙන්වා ගැනීම සහ එම ආදායමෙන් යම් කොටසක් රුපියල්වලට පරිවර්තනය කිරීම ඉහළ යෑමත් සමග, දේශීය වෙළඳපොළ මුහුණ දෙන විදේශ විනිමය ද්‍රවශීලතා ගැටලු යම් තරමකට හෝ ලිහිල් කිරීමට ද එම රීති ඉවහල් වූ බව මහ බැංකුව පවසයි.

මීට අමතරව, නව රීති යටතේ බලපත්‍රලාභී බැංකු විසින් පරිවර්තනය කරන ලද අපනයන ආදායම අනිවාර්යයෙන් විකිණීමත් සමග, වසර තුළ මේ දක්වා යම් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමත්ව තිබෙන බවට මහ බැංකුව පැවසීය.

පසුගිය සති කිහිපය තුළ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට අවශ්‍ය ගෙවීම්වලින් යම් ප්‍රමාණයක් පියවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව එම විදේශ විනිමය යොදා ගෙන ඇතැයි ඔවුන් පවසයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන විනිමය වටිනාකම මත පදනම් වූ ප්‍රතිලාභ ක්‍රමයක්

විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන් මෙරටට සිදු කරන ප්‍රේෂණ ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගලා එන වැදගත්ම ප්‍රවාහයකි.

පසුගිය වසර 5 තුළ දී එහි වාර්ෂික සාමාන්‍ය වටිනාකම එ.ජ. ඩොලර් බිලියන 7 ඉක්මවන බව මහ බැංකුව දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව විදේශීය ණය නොවන ආකාරයේ විදේශ විනිමය ගලා ඒමවල වැදගත්කම හා ස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින්, විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන්ට සේම ශ්‍රී ලංකාවට ද එකී ප්‍රේෂණවලින් උපරිම ප්‍රතිලාභ ළඟාකර ගැනීම තහවුරු කිරීමට වැදගත් පියවර රැසක් ගනිමින් සිටින බව මහ බැංකුව සඳහන් කළේ ය.

දෙරටේ අගමැතිවරුන්

| චීන ණය සහ බංගලාදේශය අතර ඇතිකරගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුමේ ඉතිරි මුදල් ප්‍රමාණය ලැබීම  සමග මෙම මාසය තුළ ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ශක්තිමත් වූ බව මහ බැංකුව පැවසුවේ ය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කම්කරු අමාත්‍යාංශය, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, දේශීය බැංකු අංශය සහ අනෙකුත් සියලුම අදාළ පාර්ශවකරුවන් සමග එක්ව, විදේශයන්හි සේවා නියුක්ත ශ්‍රී ලාංකිකයන්ගේ සුභසිද්ධිය සඳහා වන නව දිරිගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට අවශ්‍ය මූලික පියවර ගනිමින් සිටින වට පැවසීය.

මෙම දිරිගැන්වීමේ ක්‍රමවේදයට විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා වන විශ්‍රාම වැටුපක්/ විශ්‍රාම ප්‍රතිලාභ හා හදිසි අනතුරු/ ජීවිත රක්ෂණ ප්‍රතිලාභ මෙන්ම, අඩු පොලී නිවාස ණය හා ස්වයං රැකියා සඳහා වන ණය ලබාදීම ඇතුළු බැංකු පහසුකම් ද, වඩා වැඩි අගයෙන් යුත් තීරු බදු සහන ලබා දීම ද යනාදී අංගයන් ඇතුළත් වේ යනුවෙන් මහ බැංකුව පවසයි.

මෙම දිරිගැන්වීමේ ක්‍රමවේදයේ අපේක්ෂිත ප්‍රතිලාභ මෙරටට අත්කර ගැනීම තහවුරු කිරීමට ද ක්‍රියාමාර්ග ගෙන තිබේ.

එනිසා බැංකු මාර්ගය ද ඇතුළු ඕනෑම විධිමත් විදේශ මුදල් හුවමාරු ක්‍රමවේදයක් මඟින් ශ්‍රී ලංකාවට තම විදේශ විනිමය ඉ‍පැයීම් ප්‍රේෂණය කරණු ලබන, විදේශගතව රැකියාවේ නියැලෙන ශ්‍රී ලාංකිකයන් සඳහා පමණක් අදාල දිරිගැන්වීම් ලබා දීමට අපේක්ෂිතය.

තවද, එම දිරිගැන්වීමේ ප්‍රතිලාභවල මූල්‍ය වටිනාකම, අදාල ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කරනු ලැබු විදේශ විනිමය ප්‍රමාණයට අනුපාතික වනු ඇත.‍

යෝජිත ප්‍රතිලාභ ලබාගැනීම උදෙසා, විදේශගත ශ්‍රී ලාංකික සේවා නියුක්තිකයන් හට ඔවුන්ගේ විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමේ දී විධිමත් බැංකු ක්‍රමවේද ද අතුළු විධිමත් මූල්‍ය හුවමාරු ක්‍රමවේදයක් භාවිතා කරන මෙන් මහ බැංකුව ඉල්ලා සිටියි.

අදාල මුදල් තමන්ගේ නමින් හෝ තමන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුමකට ප්‍රේෂණය කරන්නැ යි මහ බැංකුව ඔවුන්ගෙන් ඉල්ලා සිටින අතර, එය අදාල ප්‍රතිලාභ නිසිලෙස ගණනය කිරීමටත්, එම ප්‍රතිලාභ ලබාදීම සඳහාත් අත්‍යාවශ්‍ය වනු ඇත.

Central bank announcement

විදේශ විනිමය වෙළෙඳපොළේ අවදානම

විදේශ විනිමය වෙළෙඳපොළෙහි ප්‍රධානතම අවදානම වනුයේ විනිමය අනුපාතිකයේ සිදුවන උච්ඡාවචනයයි. එක් මුදල් වර්ගයක් වෙනත් මුදල් වර්ගයකට හුවාමරු කිරීමේ දී භාවිත වන විනිමය අනුපාතිකය දැඩි ලෙස උච්ඡාවචනය වීම මෙහිදී අදහස් කෙරෙයි.

විදේශ විනිමය අනුපාතිකයේ දැඩි උච්ඡාවචනය විදේශ විනිමය වෙළෙඳපොළෙහි අස්ථායීතාවට හේතු වන අතර, විදේශ විනිමය වත්කම් සහ වගකීම්වල වටිනාකමට ද බලපෑම් ඇති කරයි.

විදේශ විනිමය වෙළෙඳපොළෙහි ඇති හුවමාරු, විකල්ප සහ ඉදිරි ගනුදෙනු වැනි ව්‍යුත්පන්න උපකරණ මෙම විනිමය අනුපාතිකයේ උච්ඡාවචනය අවම කිරීමට උපකාරී වේ.

විදේශ විනිමය වෙළෙඳපොළෙහි;

  • මුදල් පදනම (Cash basis)-විදේශ මුදල් මිල දී ගැනුම්/විකුණුම් ගනුදෙනු දිනයේම සිදු වූ ගනුදෙනු සඳහා වේ.
  • Tom basis (next day settlement)-විදේශ මුදල් මිල දී ගැනුම්/විකුණුම් ගනුදෙනු වැඩ කරන ඊළඟ දිනයේ දී සිදු වූ ගනුදෙනු සඳහා වේ.
  • Spot basis- විදේශ මුදල් මිල දී ගැනුම්/විකුණුම් ගනුදෙනු වැඩ කරන දින දෙකක් තුළ දී සිදු වූ ගනුදෙනු සඳහා වේ
  • ඉදිරි වෙළෙඳපොළ (Forward basis)-වැඩ කරන දින දෙකකට කලින් නිශ්චය කරගත් මිලකට, අනාගතයේ දිනයක දී විදේශ විනිමය මිල දී ගැනීමට හෝ විකිණීමට ගිවිස ගැනීම සිදුකරන වෙළෙඳපොළ යි

වෙළෙඳපොළෙහි ඇතිවන ඉල්ලුම් හා සැපයුම් බලවේගයන්ගේ ස්වාධීන ගැලපුම් මත විනිමය අනුපාතිකය තීරණය වන පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් 2001 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය.

2012 පෙබරවාරි 09 වැනි දින විදේශ විනිමය ප්‍රතිපත්තිය වෙනස් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විනිමය අනුපාතිකයේ අධික උච්ඡාවචනය පාලනය කිරීම අරමුණු කරගනිමින්, මිල ඉලක්කයන් වෙනුවට ප්‍රමාණයන් ඉලක්කකර ගනිමිනින් වෙළෙඳපොළට මැදිහත්වීම සිදු විය.

ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට උපරිම නිරාවරණ සීමාවන් පනවන අතර, වෙළෙඳපොළෙහි වඩාත් සුමට ක්‍රියාකරිත්වයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ වඩාත් සමීපව අධීක්ෂණය කරනු ලබන අතර විදේශ විනිමය අනුපාතිකය කළමනාකරණය කරනු ලබයි.

(bbc/sandeshaya)