අවලංගු එජන්සි බලපත්‍රය පෙන්වමින් මුදල් ගැරූ  අක්කා නගෝ අත්අඩංගුවට

අවලංගු එජන්සි බලපත්‍රය පෙන්වමින් මුදල් ගැරූ  අක්කා නගෝ අත්අඩංගුවට
  • ලක්ෂ විසි හතරකට අධික මුදලක් වංචාකරලා

යාවත්කාලීන නොකල විදේශ රැකියා එජන්සි බලපත්‍රයක් යොදාගෙන නීති විරෝධී අයුරින් විදේශ රැකියා එජන්සි ආයතනයක් පවත්වාගෙන යමින් කාන්තාවන්ගෙන් රුපියල් විසිහතර ලක්ෂ හතලිස් පන්දහසක මුදලක් වංචා කල එකම පවුලේ අක්කා සහ නංගී විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර කටුගස්තොට මඩවල මාර්ගයේ  මෙම එජන්සි ආයතනය  පවත්වාගෙන ගොස් ඇති අතර එහි බලපත්‍රය 2020.03.31 දින අවලංගු වී ඇතත් එය යාවත්කාලීන කර නොමැත. මෙම බලපත්‍ර ලාභිනිය තම බලපත්‍රය ඇටෝනි බලපත්‍රයක් මගින් තම එක කුස උපන් නැගණියට පවරා දෙදනාම එකතුවී මෙම ජාවාරම කරගෙන ගොස් ඇත.

මොවුන් දෙදනා කාන්තාවන්  දොලොස් දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොකර සංචාරක  වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයට යවා ඇති අතර,රැකියා නොලැබීම හේතුවෙන් ආපසු පැමිණි ඔවුන්  විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි  කර ඇත. තවද ඕස්ට්‍රේලියාවේ රැකියාවක් ලබදෙන බවට පොරොන්දුවී බාල සොයුරිය  විසින්  තවත් කාන්තාවකගෙන් රුපියල් හයලක්ෂ පහළොස්දහසක මුදලක් ලබාගෙන ඇත. මේ සම්බන්ධව විදේශ සේවා නියුක්ති  කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට  පැමිණිලි 13 ක් ලැබී ඇති අතර ,ඉන් පසු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් මාතලේ පොලිසියේද සහයෝගය ලබා ගනිමින් අදාල කාන්තාවන් දෙදෙනා මාතලේ  ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන, මාතලේ මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කරන ලදි.

කාන්තාවක් ඔස්ට්‍රේලියාවට යැවීම සඳහා  ලබාගත් රු.615000.00 මුදල එම කාන්තාවට  ආපසු ලබාදීමට නැගණිය අධිකරණයේදී පොරොන්දු වු අතර, සංචාරක වීසා මගින් නීති විරෝධිව කාන්තාවන් විදේශ ගත කිරීම  සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත්  අධිකරණයේ විභාග වන නඩු  12ක්  සඳහා මෙම මස 7 වන දින පෙනී සිටින ලෙස බලපත්‍ර  හිමි කාන්තාවට නියෝග කරන ලදි. මොවුන් දෙදෙනාම  රුපියල් ලක්ෂය බැගින් වූ  මුදල් ඇප දෙකක් මත මුදා හරින ලදී

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය  අමාත්‍ය  පියංකර ජයරත්න මහතා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන  අංශයේ මෙහෙයවීමෙන් මාතලේ පොලිස් ස්ථානයේ කාන්තා  පොලිස් සැරයන් සුමනා අල්ගේවත්ත, හා  කාන්තා පොලිස් කොස්තාපල් සසිනි මදුශානි යන නිලධාරිනියන් සමග  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී සරත් විමලවීර,  ඉඳුනිල් පුෂ්පකුමාර හා කලමනාකරණ  සහකාර වසන්ත ඒකනායක යන මහත්වරුන්  මෙම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී.