ජපානයේ රැකියා සඳහා යන්න ඔබට ආරංචියක්

japan-job

ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා මේ වසර තුළදී ශ්‍රි ලාංකිකයින් 10000ට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව අවසන් කර දිවයිනට පැමිණි තිදෙනෙකුහට ආයෝජන දිරිදීමනා ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

වසර තුනක පුහුණුව අවසන් කර දිවයිනට පැමිණි ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව අවසන් කළ තරුණියන් තිදෙනෙකු වෙත මෙම දිරිදීමනා ලබාදෙනු ලැබීය. එක් තරුණියකට ජපන් යෙන් ලක්ෂ 6ක් හෙවත් ශ්‍රි ලංකා මුදලින් රුපියල් මිලියනය බැගින් වූ චෙක්පත් අද දින (2022.03.07) අමාත්‍යතුමා විසින් ලබාදෙන ලදී.

මොවුන් 2018 ජූලි මස තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා ගිය පිරිසයි.

අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ, ජපානයේ සේවය සඳහා යොමුවන්නේ නම් නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසත්, රැකියා ස්ථානයෙන් පළා ගියහොත් ඉදිරියේදී ශ්‍රි ලාංකිකයින්ට රැකියා ලබාදීමේ අවස්ථාව අහිමි වන බවත්, රැකියා සඳහා ජපානයට යාමේදී එරට නීතියට අනුව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම ජපානය, ඊශ්‍රායලය, රුමේනියාව, දකුණු කොරියාව වැනි දියුණු රටවල් හා මැදපෙරදිග රටවල රැකියා සඳහා මේ වසරේදී ශ්‍රමිකයින් ලක්ෂ තුනක් විදේශ ගත කිරිමට ඉලක්කයක් ලැබී ඇති බවත්, මේ වන විට ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක හා අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) මංගල රන්දෙණිය හා IM ජපන් ආයතනයේ දේශීය කළමනාකරු එච්. කවහාරා  යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.