සෞදියේ තෙල් ගබඩා සංකීර්ණ දෙකකට ත්‍රස්ත මිසයිල ප්‍රහාර

 සෞදියේ තෙල් ගබඩා සංකීර්ණ දෙකකට ත්‍රස්ත මිසයිල ප්‍රහාර
සවුදි අරාබියේ ඉන්ධන ගබඩා සංකීර්ණ කිහිපයකට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ යේමනයේ ක්‍රියාත්මක හුදී කැරලිකරුවන් විසින් සවුදියේ ජෙඩා හා රියාද් නගර ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර එම ඉන්ධන ගබඩා සංකීර්ණවලට එල්ල වී ඇති බවයි. 
 

සවුදි රජයට අයත් ඇරැම්කෝ ඉන්ධන සමාගම විසින් අදාළ ඉන්ධන ගබඩා සංකීර්ණවල හිමිකාරීත්වය දරණ බවයි පැවසෙන්නේ. ප්‍රහාර හමුවේ ජෙඩා නගරයේ පිහිටි ඉන්ධන ගබඩා සංකීර්ණය ගිනිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම සිදුවීම වාර්තා වුණේ ෆෝමියුලා ධාවන තරගයක් සවුදියේ ජෙඩා නගරයේ පැවැත්විම සඳහා  කටයුතු යොදා ඇති පසුබිමක් තුළයි. 
 

කෙසේවෙතත් ඉන්ධන ගබඩා සංකීර්ණ ගිනි ගැනීම සම්බන්ධයෙන් සවුදි රජය හෝ ඇරැම්කෝ සමාගම විසින් ඉක්මන් ප්‍රතිචාර දැක්වීමක් සිදුකර තිබුණේ නැහැ. පසුව නිවේදනයක් නිකුත් කළ හුදී කැරලිකරුවන් පැවසුවේ ඇරැම්කෝ සමාගමට අයත් ගබඩා සංකීර්ණයකට මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි. එමෙන්ම ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන 02 කට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ද හුදී කැරලිකරුවන් ප්‍රකාශ කළා.