ව්‍යාජ ශ්‍රී ලාංකික ගුවන් බලපත්‍රයකින් ආ විදේශිකයා පිටුවහල්

ව්‍යාජ ශ්‍රී ලාංකික ගුවන් බලපත්‍රයකින් ආ විදේශිකයා පිටුවහල්
ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වීමට උත්සාහ කළ බංගලාදේශ ජාතිකයකු ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ. 
 
කුවේට් රාජ්‍යයේ සිට අල් ජසීරා ගුවන් සේවයේ  ගුවන් යානයකින් හෙතෙම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
ඉන් අනතුරුව ඔහු රට තුළට ඇතුළු වීම සදහා අවශ්‍ය නිෂ්කාශන  කටයුතු කර ගැනීමට ගුවන් තොටුපළ ආගමන කවුළුව වෙත පැමිණ එහි රාජකාරියේ නිරත වී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත අවශ්‍ය අනෙකුත් ලියකියවිලි සමග ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රය ද ඉදිරිපත් කර තිබේ .
 
එම ගුවන් ගමන් බලපත්‍රය නිරීක්ෂණය කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා , එය ශ්‍රී ලාංකිකයෙකුට අයත්ව තිබී , පසුව අස්ථානගත වූ එකක් බවට කරුණු අනාවරණය කර ගැනීමට සමත් වී තිබුණි .
 
එහිදී ගුවන් ගමන් බලපත්‍රයෙහි ඇති ඡායාරූපය කූඨ ලෙස සකස් කළ එකක් බවත් , මූලික විමර්ශනවලදීම අනාවරණය කර ගැනීමට එම දෙපාර්තමේන්තු නිලධාරීන් සමත් වී ඇත.
 
ඉන්පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා වෙත මෙම පුද්ගලයා යොමු කර තිබේ .
 
එහිදී ඔහුගේ පසුම්බිය සහ ගමන් මල්ල පරීක්ෂා කිරීමට පියවර ගත් අතර , එහිදී ඒ තුළ තිබූ කුවේට් රාජ්‍යයේ පිහිටි බංගලාදේශ තානාපති කාර්යාලය මගින් නිකුත් කළ හඳුනා ගැනීමේ සහතික පත්‍රයක් සොයා ගැනීමට හැකි වී තිබුණි .
 
මෙම බංගලාදේශ ජාතිකයා කුවේට් රාජ්‍යයේ තැරැව්කරුවකු මගින් මෙසේ මෙරටට පැමිණීම සදහා ශ්‍රී ලාංකික ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කර ගෙන ඇති බවට ද කරුණු ද අනාවරණය වී තිබේ .