නීති විරෝධි විදේශ රැකියා ඒජන්සිකරුවකු  සැකකරුවෙකු අත්අඩංගුවට

නීති විරෝධි විදේශ රැකියා ඒජන්සිකරුවකු  සැකකරුවෙකු අත්අඩංගුවට

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට ලද පැමිණිල්ලක් මත, වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිතායතනයක් පසුගියදා කාර්යාංශයේ විශේෂ විමර්ශන නිළධාරීන් විසින් වැටලීම් කරන ලදී.

කොළඹ 10, දෙවෙනි මරදාන, අංක 56 දරණ ලිපිනයේ ඉර්ෆාත් ඉන්ටර්නැෂනල් නම් මෙම රැකියා නියෝජිතායතනය කලක් කාර්යාංශයේ වලංගු ලියාපදිංචි බලපත්‍රයක් සහිතව පවත්වාගෙන ගොස් ඇති අතර, 2019 වසරේ සිට බලපත්‍රය අලුත් නොකර ව්‍යාජ අයුරින් මෙම ව්‍යාපාරය මෙහෙයවා තිබේ.

මෙම ආයතනය මගින් කටාර් රාජ්‍යයේ රැකියා ලබාදෙන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් මුදල් අයකර, පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට පැමිණිලි රැසක් ලැබී තිබුණු අතර, ඒ අනුව මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.

විමර්ශන නිළධාරීන් විසින් වැටලීම් කරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 30, විදේශ රැකියා සඳහා ලබාදුන් අයදුම්පත් රැසක් හා විදේශ රැකියා සඳහා අවශ්‍ය වන තවත් ලේඛන රැසක් හා රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගිය මොහොමඩ් ඉමිතියාස් යන සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරු අදාල ලිපි ලේඛනද සමග මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රැකියා ලබාදීම සඳහා අයකළ මුදල් යළි හිමිකරුවන්ට ලබාදීමට පොරොන්දු වූ අතර, ඒ අනුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මත සැකකරු මුදාහරින ලදී.

2022.10.21 දින මෙම නඩුව යළි කැඳවීමට නියමිතයි.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් වන එම්.කේ.සුමනවීර, නාලක මාමල්ගහ, සරත් විමලවීර, ඉන්ද්‍රාණි මොහොට්ටාල හා සහය නිළධාරී මධුශාන් විජේවර්ධන යන නිළධාරීන් සහභාගි විය.