විදෙස්ගත ශ්‍රමිකයන්ට Lanka Remit ජංගම යෙදුමෙන් ප්‍රතිලාභ රැසක්

විදෙස්ගත ශ්‍රමිකයන්ට Lanka Remit ජංගම යෙදුමෙන් ප්‍රතිලාභ රැසක්

Lanka Remit නමින් හඳුන්වන ජාතික ජංගම යෙදවුම (Mobile app) විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර ප්‍රචලිත කිරීමේ අරමු‍ණෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව සංවිධාන කළ උත්සවයක් පසුගියදා (26) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි.

විදෙස් රැකියා සඳහා පිටත් වීමට සූදානම් වන ශ්‍රමිකයන් වෙත Lanka Remit ජංගම යෙදුමෙන් ලැබෙන පහසුකම් සහ ප්‍රතිලාභ හඳුන්වා දීමට මෙහිදී ප්‍රමුඛත්වය දුන්නේය. මේ යෙදුම හරහා මෙරට ප්‍රතිලාභීන්ට මුදල් එවීමට විදේශ ශ්‍රමිකයන්ට හැකි වන අතර, විදේශයන්හි නිකුත් කරන ලද විද්‍යුත් අරමුදල් හුවමාරු කාඩ්පත් භාවිත කිරීමෙන් විදුලි බිල්පත් සහ ජල බිල්පත් ආදී උපයෝගිතා බිල්පත් සඳහා ගෙවීම් කිරීමට ද හැකි වේ. මෙමඟින් එය භාවිත කරන්නන්ට අගය එකතු කළ සේවාවන් රැසක් ද දෙයි. ඒ අනුව තමාට ආසන්නතම ලියාපදිංචි මුදල් හුවමාරු සේවා සපයන්නන් සහ එම මුදල් හුවමාරු කාර්යාල පිහිටා ඇති ස්ථාන පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ද මේ හරහා හැකි වේ.

Lanka remit ජංගම යෙදුම Google play store, Apple app store සහ Huawei app gallery වෙතින් ඕනෑම රටක සිට මෙරටට මුදල් එවන අයකුට බාගත (Download) කළ හැකිය. මේ හා සම්බන්ධ වී සිටින මුදල් ප්‍රේෂණ සේවා සපයන්නන් අඛණ්ඩව වැඩි වෙමින් පවතී.

ජංගම යෙදවුම හඳුන්වාදීමේ අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර, කාර්යාංශයේ උප සභාපති ඒ. ඒ. එම්. හිල්මි සහ කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී. ඩී. පී. සේනානායක මහත්වරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූහ.