රුමේනියා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකාරිය දැලේ

රුමේනියා රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ සැකකාරිය දැලේ

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවක ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රුමේනියාවේ රැකියා ලබාදෙන බවට පුද්ගලයින්ගෙන් මුදල් අය කර පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබුණු අතර, ඒ අනුව 2022.08.29 දින මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.

රාජගිරිය, මැද වැලිකඩ පාර, 21/1/1 ලිපිනයේ මෙම ආයතනය පවත්වාගෙන ගිය නිසීකා සමන්මලී සමරවීර යන සැකකාරිය එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 23ක් හා රුමේනියා රැකියා අයදුම්පත් රැසක්ද අත්අඩංගුවට ගන්නා ලදී.

රුමේනියා රැකියා ලබාදෙන බව පවසා මෙම කාන්තාව රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කර ඇති බවටද තොරතුරු හෙළිවිය. අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙරද මෙවැනි ක්‍රියා හේතුවෙන් අධිකරණය මගින් ඇප නියම වී ඇති අයෙකු බව වැඩිදුර විමර්ශනවලදී හෙළිවිය.

සැකකාරිය 2022.08.30 දින කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලක්ෂ 05ක මුදල් ඇපයක්, ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් හා දැඩි ඇප කොන්දේසි මත මුදා හරින ලද අතර, විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.

2022.10.17 දින මෙම නඩුව යළි කැඳවීමට නියමිතයි. මෙම වැටලීම සඳහා කාර්යාංශයේ නීති ක්‍රියාත්මක කිරිමේ නිළධාරීන් වන කපිල කරුණාරත්න, රවීන්ද්‍ර අබේසිංහ, ඉඳුනිල් පුෂ්පකුමාර හා සහය නිළධාරීන් වන වසන්ත ඒකනායක, අමිතා ප්‍රියදර්ශනී හා ගයේෂා සුභාෂිණි යන නිළධාරින් එක්විය.