සෞදියේ විශාලතම මත් ද්‍රව්‍ය තොගය හමුවෙලා-සංක්‍රමණිකයින් 8ක් දැලේ

සෞදියේ විශාලතම මත් ද්‍රව්‍ය තොගය හමුවෙලා-සංක්‍රමණිකයින් 8ක් දැලේ
සෞදි අරාබියේදී එතෙක් මෙතෙක් හමු වූ විශාලතම මත්පෙති තොගය අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.
 
 රියාද් නුවර වරායකින් ගොඩ බෑ පිටි කන්ටේනරයක් තුළ සඟවා සෞදි අරාබියට ගෙන ආ බව කියන එම මත්පෙති ප්‍රමාණය මිලියන 47ක් වන අතර, එහි වටිනාකම අමෙරිකා ඩොලර් බිලියන 1.1ක් බව සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.
 
 එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 3700ක් පමණ වන බව සඳහන්ය.
 
එම මත්පෙති තොගය ගබඩා සංකීර්ණයක් වෙත ප්‍රවාහනය කරමින් සිටියදී සෞදි අරාබි ආරක්ෂක අංශයට ලැබුණු ඔත්තුවක් මත වැටලීම සිදු කර ඇති අතර, පුද්ගලයන් අටදෙනකු මේ වන විට සෞදි අරාබි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 
 
එම පුද්ගලයින් අතර සෞදියට සංක්‍රමණය වූ සිරියානු ජාතිකයන් 6 දෙනකු සහ පාකිස්තාන ජාතිකයන් දෙදෙනකු සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
 
ගබඩා කිරීමෙන් පසු එම මත් පෙති තොගය නැවත වෙනත් රටවල් කරා ප්‍රවාහනය කිරීමට හෝ නැව්ගත කිරීමට සැලසුම් කර ඇතැයි සෞදි ආරක්ෂක අංශය අනුමාන කර තිබේ.
 
එසේ වුවත් සෞදි මත්ද්‍රව්‍ය කාර්යාංශ වාර්තාවලට අනුව කැප්ටගන් නමින් නිෂ්පාදිත එම මත්පෙති සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් රටවල ධනවත් තරුණයන් අතර අතිශය ජනප්‍රිය මත්ද්‍රව්‍යයකි. එවැනි එක් මත්පෙත්තක් ඩොලර් 10ත්, 25ත් අතර මුදලකට අලෙවි වන බවත් වාර්තා වේ.