තරුණ තරුණියන් ඩුබායි පටවන ජාවාරමක් මාට්ටු

තරුණ තරුණියන් ඩුබායි පටවන ජාවාරමක් මාට්ටු
සංචාරක වීසාවලින් තරුණ තරුණියන් ඩුබායි පටවා අතරමං කොට මුදල් ගරන සංවිධානාත්මක කල්ලියක් පිළිබඳ හෙළිවී තිබේ.
 
මේ දිනවල විදේශ රැකියා සඳහා විශාල උනන්දුවක් තරුණ තරුණියන් අතර පැවැතීම හේතුවෙන් ඩුබායි රටේ රැකියා දෙන බව පවසා තරුණ තරුණියන් සංචාරක වීසාවලින් ඩුබායි රටට රැගෙන ගොස් එහි කඳවුරුවල රඳවා විවිධ ජාවාරම්වල මෙන්ම මිනිස් ජාවාරමක් සිදු කරගෙන යන බව මේ අනුව අනාවරණය වී ඇත.
 
ඩුබායි ගොස් මුදල් අහිමි කරගෙන තම ජීවිත අනූනමයෙන් බේරාගෙන නැවත මෙරටට පැමිණි ගල්නෑවේ පදිංචි දිනෙත් රත්නායක සහ දඹුල්ලේ පදිංචි ලලිත් සම්පත් මේ මිනිස් ජාවාරම් කරගෙන යන විදේශ රැකියා ආයතනය පිළිබඳව සාක්ෂි සහිතව විස්තර කරති.
 
කුරුණෑගල ඇති පෞද්ගලික විදේශ රැකියා සපයන ආයතන තැරැව්කරුවන් යොදා දිවයින පුරා විසිරී සිටින විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට ඩුබායිවල රැකියා දෙන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ හතරහමාර සිට ලක්ෂ හතහමාර දක්වා වූ විවිධ මිල ගණන් ගෙන සංචාරක වීසා හරහා ඩුබායි රටට යවන බවත්, පසුව ඩුබායි නවාතැන්පොළවල් පවත්වාගෙන යමින් එහි සිටින තැරැව්කරුවන් හරහා රඳවාගෙන සිටින තරුණ තරුණියන් විවිධ ආයතනවලට අලෙවි කිරීම මෙන්ම ඔවුන් අලෙවි කර මුදල් උපයාගැනීම සිදු කරන බව මේ දෙදෙනා කියා සිටියි.
 
මේ ආයතනය හරහා ඩුබායිවලට ගොස් ඩුබායිවල ස්ථාන ගණනාවක තරුණයන් හා තරුණියන් විශාල පිරිසක් නැවත ලංකාවට ඒමට නොහැකිව වීසා හා ගමන් බලපත්‍ර නැතිව අන්ත අසරණ වී හැඬූ කඳුළින් සිටින බව වාර්තා වේ.
 
 මේ සියලු දෙනා සංචාරක වීසාවලින් මෙරටින් ඩුබායිවලට යැවූ පිරිස් බව තරුණයෝ හෙළිදරවු කරති.
 
මේ පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දඹුල්ල කාර්යාලයට හා අනුරාධපුර කාර්යාලයට පැමිණිලි කළ බවත්, මේ මිනිස් ජාවාරම පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු කරන ලෙසත්, තමා සතුව ඇති සෑම සාක්ෂියක්ම නීතිය ඉදිරියේ දීමට කැමැත්ත පළ කරන බවත් මේ තරුණයෝ සඳහන් කර සිටිති.