ලංකාව ඇතුළු ආසියාතික තරුණයින්ට රුමේනියාවේ රැකියා දොර ඇරෙන ලකුණු!

ලංකාව ඇතුළු ආසියාතික තරුණයින්ට රුමේනියාවේ රැකියා දොර ඇරෙන ලකුණු!
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල තොරතුරු තාක්ෂණ විෂය පිළිබඳ දැනුමැති තරුණ තරුණියන් සඳහා රුමේනියාවේ අවස්ථා රැසක් පවතින බව රුමේනියානු තානාපති වික්ටර් චියුජ්ඩියා (Vicktor Chiujdea) පවසයි.
 
රුමේනියා තානාපතිවරයා මෙසේ පවසා ඇත්තේ අරලියගහ මන්දිරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේදීය.
 
ප්‍රමුඛ පෙළේ බහුජාතික සමාගම් රැසක් රුමේනියාවේ විශාල වශයෙන් ආයෝජනය කරන හෙයින් එම බහුජාතික සමාගම්වල මෙන්ම රුමේනියානු සමාගම්වල තොරතුරු තාක්ෂණ විශේෂඥයන් සඳහා රැකියා දහස් ගණනක් තිබෙන බවද හෙතෙම පවසා ඇත.
 
යුරෝපීය සංගමයේ සහාය ඇතිව හුවමාරු සංචාරයක් යටතේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලාංකික විද්වතුන් පිරිසක් නුදුරේදීම රුමේනියාවට පැමිණෙනු ඇතැයි එහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන පවසා තිබේ.
 
පසුගිය කාලයේ රුමේනියාව ශ්‍රී ලංකාවට දුන් සහයෝගයට ස්තූතිවන්ත වන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සැපයූ රුමේනියානු දුම්රිය මැදිරි සහ රේල් පීලි පිළිබඳ කෘතවේදීව සිහිපත් කර ඇතැයි අගමැති මාධ්‍ය ඒ්කකය නිවේදනය කරයි.
 
මෙහිදී තානාපතිවරයා ප්‍රකාශ කළේ තම රට ශ්‍රී ලංකාව සමඟ ද්විත්ව බදු පැනවීම වැළැක්වීම සඳහා ගිවිසුමක් අත්සන් කරන බවයි.
 
එමඟින් දෙරට අතර වෙළෙඳ ක්‍රියාවලිය සුමට කළ හැකි බව ද තානාපතිවරයා සඳහන් කර ඇත.
 
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ වත්මන් ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා පියවර පිළිබඳ මෙහිදී අග්‍රාමාත්‍යවරයා සහ රුමේනියානු තානාපතිවරයා අතර සාකච්ඡා පැවැත්වී තිබේ.