අත්හිටවූ එරොෆ්ලොට් මාස 4ට පසු පැමිණිලා

අත්හිටවූ එරොෆ්ලොට් මාස 4ට පසු පැමිණිලා
මාස 04ක පමණ කාලයකට අත්හිටුවා තිබූ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවය යළිත් සිය ගුවන් ගමන් ආරම්භ කරමින්, ඔවුන්ගේ ප්‍රථම ගුවන් යානය ඊයේ (10) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
 
රුසියාවේ මොස්කව් නුවර ෂෙරමැතියෝවෝ (Sheremetyevo) ගුවන් තොටුපළෙන් ගමන් ආරම්භ කළ එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 288 දරන ගුවන් යානය මෙසේ උදෑසන 10.03 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව අප  වාර්තාකරු පවසයි.
 
ඒ.- 330 - 300 එයා බස් වර්ගයේ ගුවන් යානයක් පළමු ගුවන් ගමන සඳහා පැමිණ තිබූ අතර එහි ගුවන් මගීන් 252 දෙනෙකු සහ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 12 දෙනෙකු ද සිටියහ.
 
මෙම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් සහ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය පිළිගැනීම සඳහා ගුවන්, වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු, එරොෆ්ලොට් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිතයන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.