හොර පාස් පොට් මගින් ලංකාවට පැන්න ඉරාන ජාතිකයින් හරවා යවලා

හොර පාස් පොට් මගින් ලංකාවට පැන්න ඉරාන ජාතිකයින් හරවා යවලා
කූඨ ලෙස තැනූ නෝර්වේජියානු විදෙස් ගමන් බලපත්වලින් මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ ඉරාන ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන නැවත හරවා යවා තිබේ.
 
ඊයේ දිනයේදී (17) මෙම සැකකාර ඉරාන ජාතිකයින් දෙදෙනා යැවීමට කටුනායක ගුවන්තොටුපළ ආගමන හා විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටයුතු කර ඇත.
 
මොවුන් දෙදෙනා ඊයේ  අළුයම 3.30ට කුවේට් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා වීසා අනුමැතිය ලබාගැනීමට පැමිණීමේ පර්යන්තයෙහි ආගමන කවුළුව වෙත පැමිණි අවස්ථාවේදී රාජකාරියේ නියුතු ආගමන හා විගමන නිලධාරීන් වන එම්.එම්. එස් .එන්. ගුණසේකර සහ එම්. ඒ. හෙට්ටිආරච්චි යන නිලධාරීන් විසින්  ගමන් බලපත පරීක්ෂා කරන අවස්ථාවේදී එම ගමන් බලපත් කූඨ ලෙස තැනූ ගමන්බලපත් බවට හඳුනාගෙන ඇත.
 
අනතුරුව එම ගමන්බලපත් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ප්‍රධාන ආගමන හා විගමන නිලධාරී ආර්. ආර්.ජී. බී. රණසිංහ මහතා වෙත යොමු කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
 
එම මගීන් සතුව ඔවුන්ගේ ඉරාන ගමන් බලපත් ආගමන හා විගමන නිලධාරීන් සොයාගත් බවත්,  කූඨ ලෙස තැනූ නොර්වීජියානු ගමන් බලපත් ඔවුන් තුර්කි ජාතික තැරැව්කරුවකු මාර්ගයෙන් තුර්කියේදී එක් ගමන් බලපතක් යූරෝ 10,000 ක මුදලකට ලබාගෙන ඇති බවත් මූලික විමර්ශනයවලදී අනාවරණය වූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
 
හතළිස් වියැති එක් ඉරාන ජාතිකයකු වෘත්තියෙන් සංගීතඥයකු වන අතර අනෙක් 52 හැවිරිදි ඉරාන ජාතිකයා වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙකු බවත් ඉරානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඔවුන් මේ ආකාරයෙන් කූඨ ලේඛන සාදා ස්වීඩනය වෙත පැන යාමට උත්සාහ කළ බවත් හෙළිකර තිබේ.
 
එම ඉරාන ජාතිකයන් දෙදෙනා මූලික විමර්ශන වලින් අනතුරුව පෙරවරු 5.28ට කුවේට් රාජ්‍යය වෙත හරවා යැවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියි.