විදෙස් රැකියාවකට යන්න කලින් දැනගත යුතු යමක් ගැන නිවේදනයක්

විදෙස් රැකියාවකට යන්න කලින් දැනගත යුතු යමක් ගැන නිවේදනයක්
විදේශ රැකියාවලට යාමට ඒජන්සි ආයතනවලට මුදල් සහ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තොරතුරු ලබාගන්නා ලෙස  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ජනතාවට දැනුම් දී ඇත.
 
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පෙන්වා දෙන්නේ  1989 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අදාළ ඒජන්සි ආයතනයේ නීත්‍යානුකුලභාවය තහවුරු කරගත හැකි බවයි.
 
මේ අතර, නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය විදේශ රැකියා ඒජන්සි ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් විසින් කොටුකර ගෙන තිබේ.
 
ඩුබායි රාජ්‍යයේ රැකියාවක් ලබාදීම සඳහා තිරුක්කෝවිල් ප්‍රදේශයේ තරුණයෙකුගෙන් රු.450,000 ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව එම වැටලීම සිදුකර ඇත.
 
එම ස්ථානය වටලන අවස්ථාවේදී තරුණියන් දෙදෙනෙකු සේවයේ යෙදී සිට ඇති අතර, ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන මුදාහැර ඇත. 
 
පසුව රැකියා නියෝජිතායතනයේ හිමිකරු හා කළමනාකරු, විශේෂ විමර්ශන අංශයට පැමිණ භාරවී ඇති අතර, මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.
 
තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි තරුණයාගෙන් ලබාගත් රු 450,000ක මුදල වාරික දෙකකින් ඔහුට ආපසු ගෙවන ලෙසට නියෝග කර විදේශ ගමන් තහනමක්ද හිමිකරුට හා කළමනාකරුට,  පනවා ඇත.