කුවෙයිට් රාජ්‍යයේදී ම්ලේච්ඡ ලෙස වැඩගත් තරුණයින් 6ක් බේරා එවලා

කුවෙයිට් රාජ්‍යයේදී ම්ලේච්ඡ ලෙස වැඩගත් තරුණයින් 6ක් බේරා එවලා
කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වා ගෙන ගිය ගොවිපළක බලහත්කාරයෙන් රඳවා ගනිමින් , පහර දෙමින් , ආහාර සහ වැටුප් ලබා නොදෙමින් වැඩ ගනිමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 06 දෙනෙකු බලවත් පරිශ්‍රමයක් දරා එයින් බේරා ගෙන අද 9 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
 
මොවුන් සියලු දෙනා ත්‍රිකුණාමලය , කින්නියා ප්‍රදේශයේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්,  මොවුන් පිරිස කින්නියා ප්‍රදේශයේ නීත්‍යානුකූල නොවන තැරැව්කරුවෙකු මාර්ගයෙන් කුවේටයේ මෙම රැකියා සඳහා ගොස් තිබුණු බවත්, වාර්තා වේ.
 
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස කුවේට් රාජ්‍යයේ ෂේක්වරයෙකු විසින් පවත්වා ගෙන යනු ලබන ගොවිපළක මෙසේ සේවයේ යොදවා තිබී ඇත.
 
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙම ගොවිපළේ සිට කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රාත්‍රී කාළයේ ලබා දුන්  දුරකථන ඇමතුමක් අනුව ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම සකස් කර තිබුණි .
 
අතිශය දුෂ්කර මංමාවත් නොමැති මෙම කාන්තාර ප්‍රදේශයේ පිහිටි මෙම ගොවිපළේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය .
 
කුවේට් රාජ්‍යයේ ප්‍රබල ෂේක්වරයාගේ බලපෑම සහ පරිසරයේ පවතින දුෂ්කරතා වලට මුහුණ දීම සදහා කුවේටයේ ඉහළම ආරක්ෂක අංශ ප්‍රධානී මේජර් ජනරාල්වරියගේ සහාය ලබා ගැනීමෙන් විශේෂ හමුදාමය  මෙහෙයුමක් දියත් කර මෙම පිරිස බලවත් පරිශ්‍රමයකින් පසුව බේරා ගෙන   තිබේ .
 
 එසේම එම  නිලධාරීවරියගේ  සහ එරට රජයේ සහාය මත මෙසේ මෙම පිරිස ශ්‍රී ලංකාවට එවීම සඳහා වීසා ලබා ගැනීමට ද හැකි වී තිබේ .
 
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  දෙවන තානාපති නිලධාරී අබ්දුල් හලීම් සහ එහි තෙවන ලේකම් ජනක සමරසේකර යන මහත්වරුන් මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිස බේරා ගැනීමට මහත් උනන්දුවකින් කටයුතු කර ඇතැයි කියැවෙයි.
 
මෙසේ මෙම ගොවිපළේ මේ ආකාරයට රඳවා ගෙන සිටි තවත්  ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචි  තරුණයන් තිදෙනකු මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .
 
ඔවුන් ඇසුරෙන් මේ වනවිට ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා මෙම නීතිවිරෝධී තැරැව්කරුවන් සහ මෙම සිද්ධිය  පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම තරුණයන් පිරිස  අද 09 දින අලුයම 03.30 ට කුවේට් සිට අල් ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම තරුණයන් පිරිස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් බාර ගෙන , ඔවුන්ගේ නිවෙස් වෙත යැවීමට පියවර ගෙන තිබේ .