ලියාපදිංචි නොවී හොරෙන් බහරේන් යන්න ගිය කාන්තාවන් හයක් අත්අඩංගුවට

ලියාපදිංචි නොවී හොරෙන් බහරේන් යන්න ගිය කාන්තාවන් හයක් අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොල මගින් විදේශ ගතවන රැකියා අපේක්ෂකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් විසින් නිරන්තරයෙන් පරීක්ෂා කිරීම සිදුකරයි. මෙහිදී විදේශ රැකියා සඳහා යොමුවන සියළුම ශ්‍රි ලාංකිකයින් 1985 අංක 21 දරන කාර්යාංශ පනතේ 53/3 වගන්ති ප්‍රකාරව නියමිත පරිදි කාර්යාංශ ලියාපදිංචිය සිදුකළේද යන්න පරීක්ෂා කරයි. ඒ අනුව, කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය ඇතුළු සියළුම පළාත් හා දිස්ත්‍රික් කාර්යාල මගින් සිදුකරනු ලබන ලියාපදිංචි කිරීම් පරිගණක දත්ත අනුසාරයෙන් අවසන්වරට තහවුරු කිරීම සිදුකරන අතර, කාර්යාංශ ලියාපදිංචිය නොමැතිව විදේශ ගතවන්නන්ගේ ලියාපදිංචිය එම ඒකකය මගින් අමතර වශයෙන් සිදුකරයි.

ඒ අනුව 2023.02.12 දින බහරේන් රාජ්‍යයේ ගෘහ සේවිකා රැකියා සඳහා කාර්යාංශය ලියාපදිංචිය ලබාගත් බවට සනාථ කෙරෙන ලේඛන පෙන්වමින් කාර්යාංශ ගුවන් තොටුපොල ඒකකයේ තහවුරුව ලබාගැනීමට ඉදිරිපත් වූ කාන්තාවන් 6 දෙනෙකුගේ ලියාපදිංචිය පරීක්ෂා කිරීමේදී, ඔවුන් ව්‍යාජ ලේඛන යොදාගනිමින් විදේශ ගතවීමට උත්සහ කළ බව තහවුරු විය. මෙහිදී නිළධාරීන් විසින් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වූයේ මොවුන් බහරේන් රාජ්‍ය හරහා ඕමානයේ රැකියා සඳහා යොමුකරන ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට හසුවූ තැනැත්තියන් බවයි.

ඒ අනුව මෙම කාන්තාවන් 6 දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගුවන් තොටුපොල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් වෙත යොමුකරන ලදී. මෙහිදී අදාල කාන්තාවන්ගෙන් ලබාගත් තොරතුරු මත මේ සඳහා ආධාර හා අනුබල දුන් යුවලක් කුරුණෑලගදී අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මෙහෙයුම් සිදුකළ අතර, එහිදී ඔවුන් විසින් සඟවා තිබූ විදේශ ගමන් බලපත්‍ර 72ක සංඛ්‍යාවක් සමගින් කාන්තාවක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ අත්අඩංගුවට ගන්නා ලදී. එසේම මෙම ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරන බවට තොරතුරු වාර්තා වී ඇත.

ගෘහ සේවා රැකියා සඳහා එසේ ව්‍යාජ ලෙස විවිධ උපක්‍රම යොදාගනිමින් කාන්තාවන් විදේශ ගතකිරීම හේතුවෙන් පසුගිය දිනයන්හි ජනමාධ්‍ය මගින් විවිධ පුවත් පළවූ අතර, එම පුවත්වල සඳහන් කළ පරිදි තැනැත්තන් විදේශ ගතකිරීම සඳහා මැදිහත්වන ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේසම් වන ලෙස කාර්යාංශය මහජනයාගෙන් ඉල්ලා සිටියි. විදේශ රැකියාවක් සඳහා සුදුසු රැකියා ගිවිසුමක් සහිතව කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නිසි ලෙස විදේශ ගතවීමට මහජනයා දැනුවත් කර තිබියදී එසේ කටයුතු නොකිරීම හේතුවෙන් අසරණ කාන්තාවන් විවිධ හිරිහැරයන්ට ලක්වන බැවින්, වගකීම් සහගත ලෙස නිත්‍යානුකූල අයුරින් රැකියා සඳහා විදේශ ගතවන ලෙස කාර්යාංශය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.