දේශපාලන හිතවතුන්ගෙන් දේශපාලනඥයන්ගේ දූ දරුවන්ගෙන් දේශපාලනඥයන්ගේ ඥාතීන්ගෙන් පිරි ඇති විදේශ සේවය සුද්ද කළ යුතුය
ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනත් රටවල ක්‍රියාත්මක වන තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් කාර්යාලවල කාර්යභාරය සහ වගකීම වන්නේ එම රටවල් සමඟ දේශපාලනික හා වානිජමය වශයෙන් කටයුතු කිරීම, එම රටවල වෙසෙන ශ්‍රි ලාංකිකයන්ගේ රැකියා හා අධ්‍යාපන අවස්ථා සම්බන්ධයෙන් සොයා බැලීම සහ එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමය.
එහෙත් විවිධ හේතු නිසා විදේශත ශ්‍රී ලාංකිකයන්ගේ මැසිවිල්ල වන්නේ බොහෝ තානාපති කාර්යාල, මහ කොමසාරිස් කාර්යාල හා කොන්සල් කාර්යාල ඔවුන්ගේ අවශ්‍යතා නිසිකලට, නිසි වේලාවට සිදු කිරීමට අපොහොසත් වන බවයි. ඒ නිසාම විදේශ ගමන් බලපත් හා වෙනත් ලියවිලි සම්බන්ධයෙන් වන කටයුතු සඳහා දීර්ඝ කාලයක් බලා සිටින්නට ඔවුනට සිදුවී ඇති බවයි. මේ ආකාරයට එම කටයුතු සිදුවීම ප්‍රමාද වීමේ තත්වය තුළ එම රටවල ඔවුන්ට ඇති රැකියා, ව්‍යාපාරික, අධ්‍යාපනික හා අනෙකුත් අවස්ථා අහිමි වී යන බවයි.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මෙම ගැටළු අප සුළුවෙන් තැකිය යුතු නැත. මන්ද මේ රටට විදේශ විනිමය සොයා දීමේ ප්‍රමුඛතම කාර්ය භාරයක් ඔවුන් විසින් ඉටුකරන නිසාය.
විදේශ රටවල පිහිටුවා ඇති තානාපති, මහ කොමසාරිස් හා කොන්සල් කාර්යාලවල තත්ත්වය ඒ ආකාරයට පිරිහීම සඳහා බලපා ඇති එක් ප්‍රබල හේතුවක් වන්නේ එම කාර්යාලවල ප්‍රධානීන් වශයෙන් කටයුතු කිරීම සඳහා සහ සේවය කිරීම සඳහා ඒ වෙනුවෙන් වූ කිසිඳු සුදුසුකමක් නැති දේශපාලන පත් කිරීම් සිදු කිරීමය.
විදේශ සේවයේ ඇති වරප්‍රසාදත්, වැඩි ඉල්ලුමක් ඇති රටකට යෑමට ලැබීම මගින් පවුලේ සාමාජිකයන්ට ලබාගත හැකි වරප්‍රසාදත් මේ සඳහා හේතුවී ඇති අතර එය සමාජයට එතරම් නොපෙනීම නිසා ඒ සම්බන්ධයෙන් එතරම් කතාබහක් මෙතෙක් ඇතිවී නැත.
විදේශ සේවයට යන සෑම තරාතිරමක අයෙකුට විදේශ ගමන් බලපත්, වෛද්‍ය පරීක්ෂණ, ගුවන් ටිකට් පත්, නිල නිවාස, විදුලිය, ජලය, ගෑස්, ළමයින්ට අධ්‍යාපනය, වෛද්‍ය ගාස්තු, රෝහල් ගාස්තු, එම රටට අදාළ විශේෂ දීමනා, විදේශගත දීමනා ආදී මූල්‍ය හා අනෙකුත් පහසුකම් ලැබේ. ඒ රුපියල් ලක්ෂ ගණනක් වන වැටුපට අමතරවය.
සාමාන්‍යයෙන් තානාපති හෝ මහ කොමසාරිස්වරයෙකුට රුපියල් ලක්ෂ 10ත් 15ත් අතර වැටුපක් ලැබෙන අතර තානාපති නිලධාරියෙකුට ලැබෙන සංග්‍රහ දීමනා, එම රට තුළ සිදුකරන ගමනා ගමනයන්ගේ බිල්පත් පියවීම වැනි පහසුකම් අමතරව ලැබේ.
ගණනින් 61ක් වන ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ රටවල පිහිටුවා ඇති තානාපති, මහ කොමසාරිස් හා කොන්සල් කාර්යාල එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කොතරම් කැපවී සිටිනවාද යන්න කිවහොත් ඒවා විවෘතව තබන්නේ දහවල් 12 වනතෙක් පමණය. එම වේලාවෙන් පසු ශ්‍රී ලාංකිකයෙකුට පැමිණ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වන නිල රාජකාරියක් කර ගැනීමට බැරිය. නිවාඩු දිනවල කොහොමත් එම කාර්යාල වසා ඇති අතර යම් හදිසි අවස්ථාවකදී දුරකතනයකට හෝ ඒවාහී නිලධාරීන් සම්බන්ධ කරගත නොහැකි බව විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ අත්දැකීමය. ඇත්ත වශයෙන්ම තානාපති කාර්යාලවල සේවය එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ලැබිය යුතුව ඇත්තේ දිනක් සම්බන්ධයෙන් ගත්කළ සවස් වනතෙක්ය. ඒ නිවාඩුවක් ලබාගෙන පැමිණ එක් දිනක් තුළ ලියවිලි බාරදී, එම දිනයේදීම එම දිනයේදීම සවස් වනවිට හෝ එම කටයුත්ත අවසන් කර ගැනීමට පහසු වන පරිදිය.
ඊට හේතුව රටක් ලෙස තානාපති කාර්යාල, නිල නිවාස ඇතු`ඵ අනෙකුත් පහසුකම් සඳහා අති විශාල මුදලක් වියදම් කර එම කටයුතු පවත්වාගෙන යන්නේ එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා නොවීමය. එම කාර්යාලවලට පත්කරනු ලබන දේශපාලන පත්වීම් ධාරීන්ගේ සුඛ විහරණය සඳහා වීම නිසාය.
මේ වනවිට නව ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක පත්වී සිටියත් ඔහුට පෙර සිදුකරන ලද එම පත්කිරීම් අපට මේ ආකාරයට හඳුනාගත හැකිය. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හී ශ්‍රී ලංකා තානාපති වන්නේ මහින්ද සමරසිංහය, ඔහු හිටපු ඇමතිවරයෙකුද වන දේශපාලනඥයෙකි. එම තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරි හෙවත් තර්ඩ් ඔපිසර් වන්නේ තාරක දිසානායකය, ඔහු එස්බී දිසානායකගේ පුත්‍රයාය. ලිපිකාරිනියක් ලෙස කටයුතු කරන ඉන්දීවරී කුලරත්න හිටපු ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ දියණියයි. ඇයට පෙර එම කටයුතුවල නිරතව සිට ඇත්තේ විදුල ගුණවර්ධන නම් වූ හිටපු ඇමති බන්දුල ගුණවර්ධනගේ පුත්‍රයායි. එම තානාපති කාර්යාලයේ මාධ්‍ය නිලධාරියා වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ආවරණ කටයුතුවල යෙදුනු අශෝක ජයතුංගයි. ඇමරිකාවේම ලෝස් ඇන්ජලිස්හි කොන්සල් ජනරාල්වරයා වන්නේ වෛද්‍ය ලලිත් චන්ද්රදාසයි. ඔහු හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂගේ හා ගෝඨාභය රාජපක්ෂගේ මස්සිනායි. (ඔවුන්ගේ සහෝදරියගේ ස්වාමී පුරුෂයායි)
ඕස්ට්‍රේලියාවේ කැන්බරා මහ කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස් වශයෙන් කටයුතු කරන්නේ ජනාධිපති කාර්යාලයේ සේවය කර විශ්‍රාම ගිය චිත්‍රාංගනී වාගීස්වරය. එම කාර්යාලයේ තුන්වන නිලධාරිනිය ලෙස කටයුතු කරන්නේ ඩීසී ප්‍රනාන්දුපුල්ලේ නම් හිටපු ඇමති අරුන්දික ප්‍රනාන්දුගේ බිරිඳයි. අරුන්දික ප්‍රනාන්දුට මීට සති කිහිපයකට පෙර එල්ල වූ චෝදනාව වූයේ ඕස්ට්‍රේලියාවට මිනිසුන් යැවීමට මුදල් ලබාගෙන එය කඩකර තිබෙන බවයි. රාජ්‍ය තාන්ත්‍රික නීති රීති අනුව අරුන්දික ප්‍රනාන්දුගේ බිරිඳව වහාම රටට කැඳවා ගත යුතුව තිබේ. ඒ යම් රටක මිනිස් ජාවාරමට සම්බන්ධ වූ අයෙකුගේ කලත්‍රයාට (බිරිඳට හෝ ස්වාමී පුරුෂයාට) එම රටේ තානාපති සේවයේ යෙදීමට ඉඩ ලබානොදෙන නිසාය. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් කොන්සල් ජනරාල් සන්දිත් සමරසිංහය. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ජපානයේ ටෝකියෝ තානාපති රොඩ්නි පෙරේරාය. ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපමයෙක් වන රෝලන්ඩ් පෙරේරාගේ සහෝදරයාය. ඔහු සම්බන්ධයෙන් ඇති ප්රශ්නය වන්නේ ඔහු ජපන් කතක් සමඟ විවාහ වී සිටීමයි. තානාපති සේවයේ නීති රීති අනුව යම් අයෙකුගේ කලත්‍රයා අයත් රටට තානාපති සේවය සඳහා පත්වීම් ලබාදෙන්නේ නැත. ඒ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවලදී තානාපති සේවයේ නිලධාරියාට සිය කලත්‍රයාගේ රටත් සමඟ ලැදියාවන් අතර ගැටුමක් ඇතිකරන නිසාය. එම තානාපති කාර්යාලයේම සේවය කරන සේසත් තාබුගලගේ ස්වාමි පුරුෂයා එම රටේම විදේශ අමාත්‍යාංශයේ සේවය කරන ජපන් ජාතිකයෙකි. දෙදෙනාම ඉන්නේ ටෝකියෝවලය. මෙයද රොඩ්නි පෙරේරා මෙන්ම තත්වයකි. රාජ්‍ය තාන්තත්රික ගනුදෙනුවලදී ලැදියාවන් අතර ගැටුමක් නිර්මාණය කරයි. එම කාර්යාලයේම ලිපිකාරියක වශයෙන් 2006 වසරේ සිටම කටයුතු කරන ඉන්දු ගුණරත්න හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ ඥාති දියණියකි.
එක්සත් රාජධානියේ ලන්ඩන් මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගමය. ඔහු හිටපු දේශපාලනඥයෙකි. හිටපු ඇමතිවරයෙකු වූ සුසන්ත පුංචිනිලමේගේ පුතා වන සේනිය පුංචිනිලමේ ගල්ගමුව එහි තුන්වන නිලධාරියාය. ඊට පෙර එහි තුන්වන නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු රාජ්‍ය ඇමති පියල් නිශාන්තගේ පුතා වන කසුන් ද සිල්වාය.
ප්‍රංශයේ පැරිස් තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරියා වන්නේ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා වන සහශ්‍ර බණ්ඩාරය. ඊට පෙර එම තනතුරේ කටයුතු කර ඇත්තේ හිටපු ඇමතිවරයෙකු වන දුමින්ද දිසානායකගේ මල්ලී වන අමිල දිසානායකය.
ඉන්දුනීසියාවේ ජකාර්තාහි ශ්‍රි ලංකා තානාපති අද්මිරාල් ජයනාත් කොළඹගේය. ඔහු හිටපු නාවික හමුදාපතිවරයෙකි. මැලේසියාවේ ක්වාලම්පූර් මහ කොමසාරිස් හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වූ සුමංගල ඩයස්ය. කියුබාවේ හවානා තානාපති අද්මිරාල් නිශාන්ත උ`ඵගේතැන්නය. ඔහුද හිටපු නාවික හමුදාපතිවරයෙකි. නේපාලයේ කත්මන්ඩු තානාපති හිටපු ගුවන් හමුදාපතිවරුයෙකු වූ සුදර්ශන පතිරණය. පාකිස්ථානයේ ඉස්ලාම්බාද් මහ කොමසාරිස් හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නය.
කෙන්යාවේ නයිරෝබී තානාපති වේලුපිල්ලේ කනනාතන්ය. ඔහු රාජපක්ෂවරුන්ගේ සමීප හිතවතෙකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේ තිරුපති දේවාලය වන්දනා කිරිමට යෑම සඳහා උගන්ඩාවේ සිට පෞද්ගලික ජෙට් යානයක් ශ්‍රී ලංකාවට එවූ පුද්ගලයාය. සී ෂෙල්ස් හි වික්ටෝරියා මහ කොමසාරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රීමාල් වික්‍රමසිංහය. ඔහු ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයෙකි. ඉන්දියාවේ නවදිල්ල නුවර මහ කොමසාරිස් ෂෙනුස්කා සෙනෙවිරත්නය. ඇය ජනාධිපති කාර්යාලයේ සේවය කර විශ්‍රාම ගත් තැනැත්තියකි. නාමල් රාජපක්ෂ සමඟ ලන්ඩන් නුවර අත්වැල් අල්ලාගෙන නැටීම සම්බන්ධයෙන් මීට පෙර ප්‍රසිද්ධියට පත්විය. පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකු වූ නාවලගේ බැනට් කුරේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝක් හී නිත්‍ය නියෝජිත හිටපු නීතිපතිවරයෙකු වූ මොහාන් පීරිස්ය. ඔහුද රාජපක්ෂවරුන්ගේ සමීපතමයෙකි. එමෙන්ම ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස් ඩී වෙන්කට්වේස්වරන් නැමැති ව්‍යාපාරිකයෙකි. මාල දිවයිනේ මහ කොමසාරිස් රංග ගුණවර්ධනය, කටාර්හී ඩෝහා තානාපති එම් මනාස් මොහිඩීන්ය. අබුඩාබි හී තානාපති උදය ඉන්ද්‍රරත්නය. චීනයේ ෂැංහයි කොන්සල් අරුණ ප්‍රනාන්දුය. දකුණු අප්‍රිකාවේ පිටෝරි මහ කොමසාරිස් මහාචාර්ය ගාමිනී ගුණවර්ධනය. මේ සියල්ලන්ද විදේශ සේවයේ නිලධාරීන් නොවන දේශපාලන හිතවත්කම් මත පත්කරන ලද පුද්ගලයන්ය.
ඔවුන්ට කවදාවත් තානාපති, මහ කොමසාරිස් හා කොන්සල් කාර්යාලයකින් එම රටේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඉටුකර දිය යුතු සේවය සම්බන්ධයෙන් හැඟීමක් ඇති වන්නේ නැත. හැඟීම ඇති වන්නේ ලබාදී ඇති දේශපාලන පත්වීමේ වරප්‍රසාද උපරිමයෙන් භුක්ති විඳීම සඳහා පමණය. නව ජනාධිපතිවරයා හා විෂය භාර ඇමතිවරයා ශ්‍රී ලංකාවේ විදේශ සේවය දේශපාලනික කරණයට ලක්වීමේ මෙම ඛෙදවාචකය පිළිබඳවද අවධානය යොමු කිරීම අනිවාර්යෙන් කළ යුත්තකි.
| ලසන්ත රුහුණගේ - අනිද්දා පුවත්පතේ සංස්කාරක