රට පැටවීමෙන් එහාට සංක්‍රමණික ශ්‍රමිකයින් ගැන සොයා බැලිය යුතුයි -   අශීලා දන්දෙණිය (Video)

පවුල් ප්‍රේෂණ රටට එවා මේ රටේ ආර්ථික ක්‍රියාවලිය තුළ තීරණාත්මක භූමිකාවක් ඉටුකරන විදේශගත ශ්‍රමිකයින් පිළිබඳ රජයේ ඉහළම අවධානයක් යොමුවිය යුතු බව සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය පවසයි. සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය (Voice of Migrant-VoM) විසින් පසුගියදා පැවැති වැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටියාය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලයේ’ සාමාජික සංවිධානයක් වන ‘ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ශ්‍රී ලංකා’ ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශීලා දන්දෙණිය මිය පවසා සිටියේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා ඩොලර් මිලියන 4843ක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයින් ලංකාවට එවා ඇති බවයි.

පසුගිය වසර හා සසඳා බලද්දී එය  සියයට 11.57ක වර්ධනයක් බවත්, මෙවැනි සැලකිය යුතු විදේශ විනිමයක් රටට ගෙන එන සංක්‍රමණික ශ්‍රමික ප්‍රජාව පිළිබඳ  පසුගිය ආණ්ඩු කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් ඇය සඳහන් කළාය.

බරපතළ යුද්ධ පවතින තත්ත්වයක වුවද, විදේශ විනිමය ගැන පමණක් සිතා  රට පැටවීම කළද, ඔවුන්ගේ ආරක්ෂාව ගැන තැකීමක් නොකළ බවත්, ලෙබනනයේ තත්ත්වයන්, ඊශ්‍රායලේ යුද ගැටුම්, මියෙන්මාරයේ වද කඳවුරු ආදිය ගැන වත්මන් රජයේ අවධානය වහාම යොමුවිය යුතු බව දන්දෙණිය මිය අවධාරණය කළාය.

වෙනත් රටවල අය තමන්ගේ පුරවැසියන් නැවත තමාගේ රටවලට කැඳවා ගැනීමට කටයුතු කළත්, අපගේ රටේ සිදුවූයේ එකී අර්බුදකාරී තත්ත්වයන් පවා ප්‍රයෝජනයට අරන් තවදුරටත් රට පැටවීම පමණක් බව ඇය පෙන්වා දුන්නාය.

වත්මන් ජනාධිපතිවරයා තම ප්‍රචාරණ ව්‍යාපාරය තුළ විදේශ ගත ශ්‍රමිකයින් සංවිධානය කොට ඔවුන්ගේ  සහයත් ලබාගත් බවත්, දැන් පවතින්නේ සංක්‍රමණිකයින් ගැන හිතපු, ඔවුන් වෙනුවෙන් වැඩපිළිවෙලක්  තමන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනවල පවා ඇතුළත් කළ රජයක් බවත්, දන්දෙණිය මිය සිහිපත් කළාය.

ඒ් නිසාම දැන් පැමිණ ඇත්තේ තමන් පොරොන්දු වූ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඇතුළත් කළ දේ ක්‍රියාවට නැංවිය යුතු කාලයක් බවත්, සංක්‍රමණික ශ්‍රමිකයින් ගැන  තීන්දු තීරණ ගන්නා තැන්වලට මණ්ඩලවලට සංක්‍රමණික සමිතිවලට නියෝජනයක් ලබාදීමට කටයුතු කිරීමෙන් ඔවුන්ගේ  ගැටලු ඔවුන්ට විසඳාගැනීමට යම් රුකුලක් වනු ඇති බවත්, ඇය වැඩිදුරටත් කියා සිටියාය.