රට විරුවන්ට මුවාවූ දූෂිතයින්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි - හර්ෂණී රාජපක්ෂ (Video)
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා 2022-23 කාලයේ ක්‍රියාත්මක කළ පවුල් ප්‍රේෂණ පදනම් කරගත් විද්‍යුත් වාහන බලපත්‍ර ලබා වැඩසටහනේදී බලවත් අක්‍රමිකතා සිදුව ඇති බව සංක්රමණිකයින්ගේ හඬ (Voice of Migrant-VoM) ජාලයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකා හර්ෂණී රාජපක්ෂ මහත්මිය කියා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියාය.
හර්ෂණී රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියේ, ඒ අනුව එම නියමිත කාලය තුළ විදේශගතව සිටි බවට තහවුරු කර නොමැති පුද්ගලයන් 4 දෙනෙකුට සහ ඉතා කෙටි කාලයකට පමණක් විදේශගතව සිටි තවත් 419 දෙනෙකුට එම පහසුකම ලබා දී ඇති බව විගණන වාර්තාවකින් පවා හෙළිවී ඇති බව ඇය සිහිපත් කළාය.
මෙම විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණ ද, එය සභාගත කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවුණු බවත්, ක්‍රම සහ විධි පිළිබඳ කමිටුවේ සඳහනක් මත ජාතික විගණන කාර්යාලය විසින් කරන ලද විමර්ශනය මගින් විද්‍යුත් වාහන බලපත්‍ර ක්‍රමය ‘අපයෝජනයට’ ලක් වූ ආකාරය පිළිබඳ අනාවරණය වූ බවත් රාජපක්ෂ මිය පෙන්වා දුන්නාය.
අදාළ කාල සීමාව තුළ ගිණුම් බලපත්‍ර තබාගෙන සිටින සංක්‍රමණික සේවකයන් ඇතුළු ප්‍රතික්ෂේප කරන ලද බලපත්‍ර ඇතුළුව නිකුත් කර ඇති බලපත්‍ර 1,077ට අදාළ බැංකු ගිණුම් සඳහා විදේශ මුදල් එවීමේදී යම් මුදල් විශුද්ධිකරණයක් හෝ වෙනත් අක්‍රමිකතාවක් සිදුවී ඇත්දැයි මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් පරීක්ෂා කළ යුතු බව ජාතික විගණන කාර්යාලය නිර්දේශ කර ඇතැයි වාර්තාවන බව ඇය කියා සිටියි.
මෙම වාර්තා මත පදනම් වෙමින් මේවායේ වටිනාකම් තක්සේරු කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශනයක් සිදුකළ යුතු බවත්, “රට විරුවන්’ නමින් සංක්‍රමණික ශ්‍රමිකයින් ට මුවාවී මෙවැනි වංචා දූෂණ කළ අයට තරාතිරම නොබලා නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවත්, ඇය වැඩිදුටත් කියා සිටියාය.