අනුග්‍රහකයෙකු නොමැතිව නම් සංචාරක හා රැකියා වීසාවලට බහරේනයෙන් තහංචි

අනුග්‍රහකයෙකු නොමැතිව නම් සංචාරක හා රැකියා වීසාවලට බහරේනයෙන් තහංචි
  • අනුග්‍රාහකයෙකු සමඟ සංචාරක වීසා, රැකියා විසා බවට පරිවර්තනය කිරීමට අයකල ගාස්තුව ඩිනාර් 250 දක්වා ඉහළට

සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එය අනුග්‍රාහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනය උපුටා දක්වමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව, කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකු බහරේනයට ඇතුල්වීමේ වීසා බලපත්‍රයක් මත එය රැකියා හෝ පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර ලැබෙන්නේ නැත.

කෙසේ වෙතත් අනුග්‍රාහ‍යෙකු සමඟ සංචාරක වීසා, රැකියා විසා බවට පරිවර්තනය කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනය කර ඇති අතර, ඒ අනුව මිට පෙර අය කළ බහරේන් ඩිනාර් 60 ක ගාස්තුව ඩිනාර් 250 දක්වා ඉහළ නංවා තිබේ.

මිට පෙර 2024 පෙබරවාරි මස 13 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන තිබිණි.

ඒ අනුව මීට අදාළ නීති රෙගුලාසි බහරේන් රජය විසින් මේ වසරේ ජනවාරි 14 වන දින එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබේ. ඒ අනුව බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකු, අනුග්‍රහකයෙකු නොමැතිව බහරේනයට ඇතුල්වීමේ වීසා බලපත්‍රයක්, රැකියා හෝ පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර ලැබෙන්නේ නැත.

බහරේනයේ රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු දී සංචාරක වීසා භාවිතා කරමින් එරටට ඇතුළු වූ ශ්‍රි ලාංකිකයින් විශාල ප්‍රමාණයක් සිටින බව තානාපති කාර්යාලය විසින් නිරීක්ෂණය කර ඇත. සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එරට වැඩිකාලයක් රැඳීසිටින ශ්‍රී ලාංකිකයින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා තානාපති කාර්යාලයට මේවන විට ඉල්ලීම් ලැබෙමින් පවතින බවද තානාපති කාර්යාලය සදහන් කරයි.

මොනයම් හේතුවක් මත හෝ සංචාරක වීසා උපයෝගි කොටගෙන අනුග්‍රාහකයෙකු නොමැතිව හා කාර්යාංශයේ ලියාපදිංචියකින් තොරව බහරේනයේ රැකියා ලබාගැනීමට විදේශ ගත නොවන ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.