හොර පාරෙන් පනින්න ගිය 8ක් මාට්ටු

හොර පාරෙන් පනින්න ගිය 8ක් මාට්ටු

මන්නාරම පේසාලේ කුදිඉරිප්පු වෙරළ තීරයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

(13) දින රාත්‍රී කාලයේ සිදුකළ මෙම විශේෂ පාමුර සංචාරයේදී, එම වෙරළ තීරයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයන් පිරිසක්, නාවික හමුදා භට පිරිස විසින්  නීරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කර තිබුණි.

එහිදී, එම වෙරළ තීරයේ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීම සඳහා රැඳී සිටි බවට සැකකෙරෙන වයස අවුරුදු 18ට වැඩි පිරිමි පුද්ගලයන් තිදෙනෙකු, කාත්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 18ට අඩු තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් අට දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා භාරයට පත් පුද්ගලයින් පිරිස මොරවැව, වව්නියාව, යාපනය සහ පේදුරුතුඩුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට  හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ මෙම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලීසිය වෙත භරදීමට පියවර ගෙන තිබේ.

ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් අනාරක්‍ෂිත යාත්‍රා යොදා ගනිමින් සංවිධානය කරනු ලබන මිනිස් ජාවාරම් වලට හසුවී, නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් මෙන්ම නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන්ද වළකින ලෙසටයි නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.