පෞද්ගලික අංශයේ සේවකයෙකුව සේවයෙන් නෙරපා හැරීමකදී නීති පිලිසරණ පතා යා යුතු කාර්මික අධිකරණයක සැකැස්ම පිළිබඳව සාකච්චා කිරීම සදහා මෙවර වැඩබිම නීති පිටුවේ ඉඩ වෙන්වී ඇත. ඔබ පෞද්ගලික අංශයේ සේවය කරන අයෙක් නම් ඔබට මේ කරුණු අනිවර්යෙන් වැදගත් වෙනු ඇත.
කම්කරු විනිශ්චාධිකරණයක් යනු අර්ධ විනිශ්චය ආයතනයක් වෙයි. මෙම කම්කරු ආරවුල් පනතට කරන ලද 1957 දරණ සංශෝධනය තුළින් කම්කරු විනිශ්චය සභාවන් පිහිටුවනු ලැබීය. කම්කරු විනිශ්චයාධිකාරියක් ක්‍රියාත්මක වීම ආරම්භ වුණේ 1959 දීය.මෙම කම්කරු උසාවිවලින් නඩු විසඳීම සිදු කරනු ලබන්නේ එහි සභාපති තනතුර දරන අතිරේක මහේස්ත්‍රාත් නිලය සහිත අධිකරණ නිලධාරීන් විසිනි.
කම්කරු විනිශ්චය අධිකරණයකට බලය ලැබෙන්නේ කාර්මික ආරවුල් පනතේ 31 C (1) වගන්තියට අනුව සහ එමගින් යුක්ති සහගත සහ සාධාරණ තීරණයක් ලබා දීමටයි..
යම්කිසි කම්කරුවකු සහ සේවායෝජකයෙකු අතර යම් කාර්මික ආරවුලක් හටගත් අවස්ථාවක කාර්මික ආරවුල් පනතේ 31 B (1) වගන්තිය ප්‍රකාරව කම්කරු විනිශ්චය අධිකරණයක් වෙත ඉල්ලුම්පතක් ඉදිරිපත් කළ හැකිය.
කම්කරු විනිශ්චය සභාවක් විසින් කාර්මික ආරවුල් පනතේ 33 වගන්තිය අනුව පහත සඳහන් සහන ලබාදිය හැකිය.
1. වැටුප් සමග නැවත සේවයේ පිහිටුවීම
2. හිඟ වැටුප් රහිත නැවත සේවයේ පිහිටුවීම
3. සාධාරණ වන්දි මුදලක් ලබාදීම
4. සේවකයන් 15 කට අඩු සේවා ස්ථානවලින් පාරිතෝෂිකයන් ගෙවීමට තීරණය කිරීම
5. පාරිතෝෂික මුදලින් නීත්‍යානුකූල නොවන අඩුකිරීම් ගැන තීරණය කිරීම
තවද කාර්මික ආරවුල් පනතේ 31 D (1) වගන්තිය අනුව කම්කරු විනිශ්චය සභාවක තීරණය අවසානාත්මක වේ. සිද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් මත එබඳු තීරණයකට එරෙහිව අභියාචනා කළ නොහැකි අතර නීති ප්‍රශ්නයක් මත පමණක් මහාධිකරණයට අභියාචනා කළ හැකියි. අභියාචනා ඉදිරිපත් කිරීම තීන්දුවෙන් දින 30ක් ඇතුලත කළ යුතුය.
එපමනක් නොව පළාත් මහාධිකරණයේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කළ හැකිය. කම්කරු විනිශ්චය සභාවක තීරණය කම්කරු කොමසාරිස්වරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරනු ලබන නඩුවක් මගින් ක්‍රියාත්මක කරවා ගත හැකියි.
කම්කරු විනිශ්චය සභාවන්හි සියලු සලකා බැලීම් අනෙකුත් අධිකරණ මෙන් නොව යුක්තිය සහ සාධාරණත්වයන් යන සංකල්පය මත පදනම්ව තීරණය කරයි.