"අප්‍රේල් 03 දා සවස 03ට පාරට බහින්න" මොකද්ද මේ නිර්නාමික විරෝධතාව ?

"අප්‍රේල් 03 දා සවස 03ට පාරට බහින්න"  මොකද්ද මේ නිර්නාමික විරෝධතාව ?

"අප්‍රේල් 03 දා සවස 03ට පාරට බහින්න" නිර්නාමික විරෝධතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය වන අතර ඊට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල සම්බන්ධ බවට කියවුණත් ඔවුන් අවධාරණය කළේ තමන්ගේ ඊට මැදිහත් වීමක් නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂය ඇතුලු තවත් ප්‍රධාන පක්ෂ කිහිපයක් ඊට සම්බන්ධ නොවන බව අවධාරණය කර ඇත.

සමගි ජනබලවේගයේ ස්ථාවරය ඉවසුවා ඇති අප්‍රේල් 3 ඉරිදා, මුලු රටම පාරට බහිමු

"ඉවසුවා ඇති අප්‍රේල් 3 ඉරිදා, මුලු රටම පාරට බහිමු" යන මැයෙන් විරෝධතාවක් පැවැත්වීමට සමගි ජනබලවේගය සූදානම් වන අතර ඒ සඳහා එක්වන ලෙස සමගි ජනබලවේගය නායක හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සජිත් ප්‍රේමදාස පවසා සිටියේ "තෙල්ටික නැහැ. අත්‍යවශ්‍ය අහාර පාන නැහැ. කිරිපිටි ටික නැහැ. මේ රටේ ජනතාව කොහොමද ජීවත් වෙන්නේ.අද අපි ඉවසුවා ඇති. මෙහෙම යන්න බැහැ මේ රටට. අද මේ රට බංකොලොත් වෙලා. මාතෘභූමිය අද වෙන්දේසිලන්තයක් වෙලා."

"අපි පොදු ජන බලවේගයක් එක්ක ඉරිදා පාර බහිමු." ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය මොකද කියන්නේ ?

නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට තම පක්ෂය සම්බන්ධ නොවන බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය අවධාරණය කළේ ඔවුන්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරය රටපුරා ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බවයි.

මීළඟ සත්‍යග්‍රහය අප්‍රේල් 6 වැනිදා මාතරදී පැවැත් වන බවත් ඊට එක්වන ලෙස සියලු දෙනාට ආරාධනා කරන බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය

රට පත්ව ඇත්තේ දරුණු අර්බුදකාරී තත්ත්වයකට බව අපි දනිමු. හැම මොහොතකම සමාජය වඩ වඩාත් අර්බුදය දෙසට ගමන් කරමින් ඇති අතර සමාජයේ සෑම ජන ස්ථරයක්ම ඒ හේතුවෙන් පීඩාවට පත් වී ඇත. එවැනි මොහොතක සවිඥානිකව හා සංවිධානාත්මකව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන ආදී කොටස් මෙම ජන පීඩනයට එරෙහිව සිය විරෝධය දක්වමින් සිටියි.

සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් මෙම අර්බුදයට එරෙහිව විරෝධය පෑමට අයිතියක් ඇති අතර එසේ විරෝධය පළ කළ යුතුවද තිබේ. එහෙත්, වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස අපි ඉල්ලා සිටිමු. මන්ද එවැනි වගකීමක් නොමැති අවංක මහජන විරෝධයන් පිටුපස පවා අනතුරක් තිබිය හැකි බැවිනි.

එසේම ස්වයංව පැන නඟින ඕනෑම ආකාරයක මහජන විරෝධයන්හි අයිතිය ලාබ ලෙස ලබාගැනීම වෙනුවෙන් රබර් මුද්‍රා තැබීමට ක්‍රියා නොකරන බවද අවධාරණය කරමු.

"අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට" ගොදුරු වන්න එපා! ජාතික නිදහස් පෙරමුණේ ස්ථාවරය

ශ්‍රී ලංකාව සිය ඉතිහාසය තුළ බරපතළම ආර්ථික අර්බුදයට පත්ව ඇති මේ මොහොතේ එමඟින් සමාජයේ සෑම ජන කොටසක්ම දැඩි පීඩාවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පැවසීය.

ඔහු කියා සිටියේ එම අර්බුදයෙන් රට ගොඩගැනීම ඉලක්ක කරගත් "මුළු රටම හරිමගට" ජාතික වැඩපිළිවෙළ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු ආණ්ඩුව නියෝජනය කරනු ලබන පක්ෂ එකොළහ විසින් කඩිනමින් ඉදිරිපත් කරනු ලැබුවේ ඒ කෙරෙහි අප බලවත් සේ සවිඥානක නිසා බවයි.

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කොට නව ගමන් මඟකට මුලපිරීමට මේ පිළිබඳ සවිඥානක දේශපාලඥනයන් සියල්ලටම අප ඇරයුම් කොට ඇත්තේ ද "මුළු රටම හරි මගට" ගැනීමට මිස පටු දේශපාලන වාසි ලබා ගැනීමට නොවන බව විමල් වීරවංශ අවධාරණය කරයි.

මෙවැනි මොහොතක දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා සාමාන්‍ය ජනතාවට එම අර්බුදයට විසඳුම් ඉල්ලා විරෝධය පෑමේ අයිතියට අපි ගරු කරන්නෙමු.

එහෙත් වගකිවයුත්තකු, සංවිධායකයකු නොමැති විරෝධතා කෙරෙහි අපගේ බලවත් අවධානය යොමු විය යුතුව තිබේ.

"අප්‍රේල් 03 දා සවස 03ට පාරට බහින්න" නම් විරෝධතාව ද එවැන්නෙකි. එවැනි විරෝධතාවන් පිටුපස සැඟවුණු න්‍යාය පත්‍රයන් පැවතිය හැකි බව විමල් වීරවංශ සඳහන් කළේය.

එම විරෝධතාව සම්බන්ධයෙන් පළමුව පැවසිය යුත්තේ තමා එම විරෝධතාවට සහයෝගය දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එසේම ජාතික නිදහස් පෙරමුණ හෝ පක්ෂ 11ක එකමුතුව ද එම විරෝධතා ව්‍යාපාරයට කිසිදු ලෙසකින් සම්බන්ධ නොමැති බව ද ඉතා වගකීමෙන් දැනුම් දෙන බව ඔහු කියා සිටියේය.

කෙසේ වුවද රාජිත සේනාරත්න සහ සජිත් ප්‍රේමදාස යන දේශපාලඥනයන් විවෘතවම මෙම විරෝධතාවට සහභාගි වන බව පැවසීම මගින් මෙය සමගි ජන බලවේගය මෙහෙයවන විරෝධතාවයක් බව බොහෝ දුරට තහවුරු වෙමින් පවතී.

රට අද පවතින තත්ත්වයට ණය උගුලක සිර කරවීමට මූලික වූ එජාපයේ වත්මන් දිගුව වන "සජබ විරෝධතාවන්ට" අපි කිසිදු ආකාරයක සහයෝගයක් ලබා නොදෙන බව ද අවධාරණය කිරීමට කැමැත්තෙමු.

එසේම මෙම "අරාබි වසන්තයේ ශ්‍රී ලංකා සංස්කරණයට" හසු නොවන ලෙස ආණ්ඩු විරෝධී සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්න බවද විමල් වීරවංශ සඳහන් කළේය.

"අප්‍රේල් 03 දා සවස 03ට පාරට බහින්න"

අප්‍රේල් 03 කළ යුත්තේ කුමක් ද? පිවිතුරු හෙළ උරුමයේ ස්ථාවරය

ආණ්ඩුවට විරුද්ධව හඬ නැගීමේ ජනතා අයිතිය ජනතාව විසින් ඉතාම සංයමයෙන් සහ ඉවසීමෙන් භාවිතා කල යුතු බවත් එසේ නොවුණ හොත් මේ අවස්ථාව මර්දනය සඳහා යොදා ගැනීමට ආණ්ඩුව උපායශීලීව කටයුතු කිරීමේ අවදානමක් ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියේය.

ඒ මේ බව සදහන් කර සිටියේ සමාජ ජාල ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබා දෙන අප්‍රේල් 3 ව්‍යාපාරය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මෙසේ ප්‍රකාශ කර සිටියේය.

"සමහර මාධ්‍ය ජාලා හරහා ප්‍රකාශ වෙනවා මෙම වැඩසටහනට සංවිධාන දායකත්වය ලබා දෙන එක් සංවිධානයක් විදිහට පිවිතුරු හෙළ උරුමය. මුලින්ම කියන්න අවශ්‍යයි පිවිතුරු හෙළ උරුමය එම වැඩසටහන සංවිධානය කිරීමේ ලා කිසිම නායකත්වයක් දායකත්වයක් සපයලා නැහැ."

"ඒ නිසා පිවිතුරු හෙළ උරුමයේ නම සිතා මතා මේ ව්‍යාපාරය සමග ගැටගසා තිබෙනවා. අපි කරන දේ බය නැතුව කියනවා අපි තමයි කරන්නේ කියලා. ඒවගේම කවම කවරදාකවත් අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන්න අපි ඉදිරිපත් වෙලා නැහැ."

මන්ත්‍රීවරයා අවධාරණය කළේ මේ වැඩසටහනට පැමිණෙන අයට ඉතාම වැදගත් අනතුරු ඇඟවීමක් කළ යුතු බවයි.

"මේ වැඩසටහන නිශ්චිත සංවිධානයක් ඉදිරියට නොපැමිණ සංවිධානය කරන කටයුත්තක්. සාමාන්‍යයෙන් පක්ෂයක් හෝ වෙනත් සංවිධානයක් විසින් උද්ඝෝෂණයක් සංවිධානය කිරීමෙහි දී එයට නිශ්චිත නායකත්වයක් තියෙනවා. ඒ නිසාම පැමිණ සිටින පිරිස පාලනය කිරීමට නායකත්වයට හැකියාවක් තියෙනවා . නමුත් මේක කිසිම නායකත්වයකින් තොරව සංවිධානය වන නිසා බොහෝ වෙලාවට මේක ඇතුළට යම් පිරිස් රිංගවල සංවිධානාත්මකව ප්‍රචණ්ඩ ක්‍රියා ඇති කිරීමට උත්සාහයක් දරන්න පුළුවන්." උදය ගම්මන්පිල පවසා සිටියේය.

"ජනතාවත් කෝප වී සිටින මොහොතක් බැවින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම අතිශයින්ම පහසු කටයුත්තක්. එවැනි කටයුත්තක් ඇති කර ගැනීමේ අවසාන වාසිය තියෙන්නේ ආණ්ඩුවට. මොකද දැවැන්ත ආණ්ඩු විරෝධයක් පවතින මොහොතක හදිසි නීතිය පනවල යුද හමුදාව කැඳවල සැමතැනම හමුදාව රඳවලා ජනතාවට තමන්ගේ වේදනාව විරෝධය පල කිරීමට තියෙන නිදහස නැති කිරීමේ අවස්ථාවක් ආණ්ඩුවට ඇති වෙනවා ප්‍රචණ්ඩ තත්වයක් ඇතිවුණොත්."

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ "ජනතාව ප්‍රචණ්ඩ නොවුනත් සංවිධානාත්මක පිරිසක් ප්‍රචණ්ඩව හැසිරිලා මේ වැඩසටහනට එම සම්පූර්ණ වගකීම පැවරීමේ අවදානම තියනවා. ඒ නිසා ආණ්ඩුවට විරුද්ධව හඬ නැගීමේ ජනතා අයිතිය ඔබ භාවිතා කරද්දි ඉතාම සංයමයෙන් ඉවසීමෙන් කරන්න. එහෙම නොවුණොත් මේ අවස්ථාව මර්දනය සඳහා යොදා ගැනීමට ආණ්ඩුව උපායශීලීව කටයුතු කිරීමේ අවදානමක් තියෙනවා."

(bbc/sandeshaya)