මිරිහාන සිදුවීමේදී අත්අඩංගුවට ගත් ජනමාධ්‍යවේදීන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මිරිහාන සිදුවීමේදී අත්අඩංගුවට ගත් ජනමාධ්‍යවේදීන් පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ යුතුයි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ජන විරෝධතා වාර්තා කිරීම සඳහා එහි ගොස් සිටි ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් ව ඇති බව වාර්තා වේ. එලෙස අත්අඩංගුවට පත්ව සිටින ඇතැම් මාධ්‍යවේදීන් පොලිස් පහර දීම්වලට ලක්ව ඇති බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නියෝජිතයන් සමග පවසා ඇත.

එලෙස පහර දීමක් සිදුව ඇත්නම් එය බරපතල  මානව හිමිකම් උල්ලංඝනයක් වන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වහා මැදිහත්ව පරීක්ෂණයක් සිදු කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.

එසේම මෙවැනි අවස්ථාවක ව්‍යාජ තොරතුරු සමාජ ගත වීමෙන් වඩාත් ව්‍යසනකාරී තත්ත්වයක් ඇති විය හැකි නිසා කළ යුතු වන්නේ නිවැරදි තොරතුරු නිකුත් කිරීමයි.

එම නිසා අත්අඩංගුවට පත් ජනමාධ්‍යවේදීන් සම්බන්ධ නිරවද්‍ය දත්ත නිකුත් කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියි.

පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපිය

පොලිස්පතිතුමා,

පොලිස් මූලස්ථානය,

කොළඹ.

2022/04/01

මහත්මයාණෙනි,

මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ජන විරෝධතාව අනාවරණය කළ මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම.

2022 මාර්තු 31 වැනි දා රාත්‍රියේ මිරිහාන පොලිස් බල ප්‍රදේශයේ ඇති වූ මහජන විරෝධතා සහ ඒ ආශ්‍රිතව ඇති වූ සිද්ධීන් අනාවරණය සඳහා එහි ගොස් සිටි ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට අප වෙත වාර්තා වී ඇත.

එසේ අත්අඩංගුවට පත්ව ඇති මාධ්‍යවේදීන් කවුද යන්න පිළිබඳව හෙළිදරව් කරන මෙන්ද ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන මෙන්ද ඉල්ලා සිටිමු.

එසේම, විරෝධයට සහභාගි වූ සෙසු පුරවැසියන්ගේද මානව හිමිකම් ආරක්ෂා කරමින් කටයුතු කරන මෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිමු.