බෝ නොව රෝග වලට අධි අවදානමක් ඇති අයගෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට අවශ්‍ය වන්නේ 15 % ක පමණයි

බෝ නොව රෝග වලට අධි අවදානමක් ඇති අයගෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට අවශ්‍ය වන්නේ 15 % ක පමණයි

පසුගිය වසර 03 ක කාලය තුල ප්‍රාථමික සෞඛ්‍ය සේවාව විසින් මහජනතාව ලක්ෂ 12ක ගේ බෝ නොවන රෝග වැලඳීමට ඇති  අවදානම පරීක්ෂා කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා ලබාදීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් පැවති  සාකච්ජාවකදී ඔහු මේ බව පැවසීය.

ග්‍රාමීය  ප්‍රදේශ ආශ්‍රිතව වැඩි වශයෙන් පිහිටුවා ඇති ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක හා ප්‍රාදේශීය රෝහල්වලදී පසුගිය වසර තුනක් තිස්සේ මහජනතාවගේ බෝ නොවන රෝග වලට ඇති අවදානම පරීක්ෂා කෙරින. රුධිර කොලෙස්ටරෝල් මට්ටම, රුධිරගත සීනි මට්ටම, රුධිර පීඩනය, උස සහ බර මැනීමේ කටයුතු මේ අනුව සිදු කෙරිනි. ඒ ඒ සෞඛ්‍ය ආයතන වලට  තමන් විසින් වග කියන ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් බැගින් වෙන් කර දී තිබේ.

මහජනතාව අදාල ආයතනයට පැමිණ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර ගැනීම මෙන්ම අවදානම අධික වන අවස්ථාවලදී අවශ්‍ය උපදෙස්, ඖෂධ ලබා දීම මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමද සිදු කෙරිනි.එම ආයතනවල පිහිටුවා ඇති “සුව දිවි සායන “ (HLC Clinics) මගින් මෙම පරීක්ෂාකිරීම් සිදුකර පරිගණකගත දත්ත පද්ධතියකට එම තොරතුරු ඇතුලත් කිරීම සිදුවේ.මේ අනුව පරීක්ෂාවට ලක් වූ මහ ජනතාව අතරින් බෝ නොවන රෝග වලට අධි අවදානමක් සහිත පුද්ගලයින්ගෙන්   15% ප්‍රතිශතයකට පමණක් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමේ  අවශ්‍යතාව මතුව තිබිණි.

රෝගී නොවී සිටීමට අවශ්‍ය ක්‍රමවේදය සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබා ගැනීමටත්, යම් සුළු අවදානම් තත්වයක් ඇතිවූ අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් කලයුතු ඉදිරි පිලිබඳවද ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක හා   ප්‍රාදේශීය රෝහල්වලදී ලබාදීමේ ක්‍රමවේදයක් මේ වන විටත් ක්‍රියාත්මකය.අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් අනෙකුත් රෝහල් වෙත යොමු කිරීම සිදුවේ.

මේ ආකාරයෙන් තම තමන් දැනට පදිංචිව සිටින ග්‍රාම නිලධාරී වසම අයත් වන ප්‍රාථමික හෝ ප්‍රාදේශීය  රෝහල වෙත ගොස් තමන්ට හිමි පුද්ගලික සෞඛ්‍ය අංකය ලබාගැනීමෙන් තමන්ට අවශ්‍යවන සෞඛය සේවා ලබා ගැනීමට හැකි බවද ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. සෞඛ්‍යමත් වීම වෙනුවෙන් දැනට මහජනතාව නිසි පරීක්ෂා කිරීමට පෙර  වියදම් කරන මුදල් ඉතිරි කර ගැනීමටත් හැකිවන බව ද ඒ මහතා පෙන්වා දෙයි.