කොළඹ කොරෝනා අවදානම ඉහළට - හැකිතාක් නිවසේ සිටින ලෙස දැනුම්දීමක්

කොළඹ කොරෝනා අවදානම ඉහළට - හැකිතාක් නිවසේ සිටින ලෙස දැනුම්දීමක්

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත අනුව සිකුරාදා වන විට ශ්‍රී ලංකාවේ කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව දස දහස ඉක්මවා තිබේ.

මේ අතර කොළඹ නාගරික සීමාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ විශාල ජනහගනයක් සහිත කොළඹ නාගරික ප්‍රදේශයේ පවතින ජීවන රටාව එවැනි අවදානමකට හේතු වී ඇති බවය.

එබැවින් දැඩි සෞඛ්‍ය පියවර අනුගමනය කරන ලෙස ඔහු කොළඹ නගර සභා සීමාවේ වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටී.

සිකුරාදා (ඔක්තෝම්බර් 30) වන විට ශ්‍රී ලංකාවේ තහවුරු වී ඇති කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව 9,791 කි.

ඉන් 6,313 දෙනෙකුම මිනුවන්ගොඩ – පෑලියගොඩ පොකුරට අයත් බව වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

“හැකිතාක් නිවෙස්වල රැඳෙන්න”

 115139357 2ebd59b8 acbc 4422 a7f8 5a88a907bf9c

රට තුළකෝවිඩ් රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කළ ද වෛරසය තවමත් පාලන මට්ටමක පවතින බව කී විශේෂඥ වෛද්‍යවරයා දැනට වාර්තා වී ඇති රෝගීන් අතර අන්තර් සම්බන්ධයක් දැකිය හැකි බව සඳහන් කළේය.

  • කොරෝනා වෛරසය: රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් සිටීද? බෝ වීම වළක්වා ගන්නේ කෙසේ ද? දරුවන්ට ඇති අවදානම කුමක්ද?

“පුළුවන් තරම් නිවෙස්වල රැඳී සිටින්න උත්සාහ කරන්න. පිටතට යෑම අවම කරන්න, අත්‍යවශ්‍යම දෙයකට පිටතට යන අවස්ථාවක මීටරයක දුර තබා ගන්න, මුව ආවරණ (මාස්ක්) පළඳින්න, සනීපාරක්ෂක ජෙල් හෝ සබන් යොදා දෑත් සෝදා පිරිසිදුව තබා ගන්න,”

“මේ පියවර අනුගමනය කරනවා නම් අපට පහසුවෙන් රෝගය පාලනය කළ හැකියි,” යනුවෙන් විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය.

 111127325 31cfe25a 90cb 4869 8889 8785e597614d

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කෝවිඩ් රෝගීන් වාර්තා වී ඇති බැවින් නිවෙස්වල රැඳී සිටීම තුළ ඔවුන් හරහා වෛරසය පැතිර යාම පාලනය කර ගත හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ වන විට, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව තහවුරු වූ රෝගීන් රෝහල්වලින් පිටත රඳවා තැබීමට පියවර ගෙන ඇති බව විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේය.

“මීට පෙර, පොසිටිව් කියල හඳුනා ගත් සියලු දෙනා රෝහල්වලට ඇතුළත් කරන එක අපි කළේ. නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයට රෝහල් ඇඳක් අවශ්‍ය නැහැ. රෝහල් නොවන නේවාසික මධ්‍යස්ථානවල එවැනි රෝගීන් රඳවා තබන්න අලුතින් පියවර ගෙන තිබෙනවා.”

PCR පරීක්ෂණ සහ රෝගීන්

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්ත අනුව පසුගිය දින 07 ක (ඔක් 23 සිට ඔක් 29) කාලය තුළ සිදු කරනු ලැබ ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 66,951 කි.

වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කර ඇත්තේ ඔක්තෝම්බර් 28 වෙනිදා වන අතර එම සංඛ්‍යාව 11,552 කි.

එකී කාලය තුළ වැඩි වශයෙන්ම රෝගීන් වාර්තා වී ඇත්තේ ඔක්තෝම්බර් 23 වෙනිදා වන අතර එම සංඛ්‍යාව 866 කි.

කොරෝනා වෛරසය හේතුවෙන් මරණයට පත්ව ඇති සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබේ.

උපුටා ගැනීම -බී.බී.සී. නිවුස්