සුවසැරිය සේවකයින්ට සාධාරණය ඉටුවනතුරු අරගලය අඛණ්ඩයි

සුවසැරිය සේවකයින්ට සාධාරණය ඉටුවනතුරු අරගලය අඛණ්ඩයි
වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමත්, ස්වකීය ආයතනය විසින් සේවක සේවිකාවන්ගේ ගැටළු සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකිරීම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඒ තොරතුරු රටට හෙළි කිරීමත් නිසා සුවසැරිය පදනමේ සේවයේ කළ තිදෙනෙකු පසුගියදා සේවයෙන් නෙරපා හැර තිබුණි. එය කම්කරු නීති මෙන්ම මූලික මානව හිමිකම් පවා අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බැව් පැහැදිලිය. එසේ වුවද ඒ පිළිබඳ රජයේ බලධාරීන් මේවන තෙක් නිසි ක්‍රියා මාර්ගයක් ගැනීමට කටයුතු කර නැත. පසුගියදා කොටුව, ගුරුමැදුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුවසැරිය සේවක සංගමයේ සභාපතිනි මයුමි ප්‍රියංගිකා වීරසිංහ ස්වකීය අත්දැකීම මෙසේ කියා සිටියාය.
 
"සුවසැරියේ"  සේවක සංගමයක් හදන්න උත්සාහ කරපු පළවෙනි කණ්ඩායම අපි නෙවෙයි. මීට ඉස්සර එහෙම උත්සාහ දරපු සේවකයින් සේවයෙන් ඉවත් රලා තියෙනවා. ඒ ගැන පැහැදිලි සාක්ෂි අප සතුව තියෙනවා. තවදුරටත් ඒ සේවක මර්දනය ඒ විදිහටම යනවා. අපේ සේවය මේ විදිහට තාවකාලිකව අවසන් කරලා තිබුණත්, අනෙක්  සියලු සේවකයින්ගෙන් මේවන විට ලිපි ලේඛන වලට බලහත්කාරයෙන් අත්සන් ගනිමින් සිටිනවා. වෘත්තීය සමිතියක් හැටියට ඒකරාශිවූ අය සම්බ්නධයෙන් මේවන විට තොරතුරු රැස්කරමින් පවතිනවා. අප කිසිම අවස්ථාවක මේ සුවසැරිය සේවය නවත්වන්නවත්, කඩාකප්පල් කරන්නවත්, රජය අපහසුතාවට පත් කරවන්නවත් කටයුතු කරලා නෑ.  අපටත් අවශ්‍ය වෙන්නේ  මේක තවදුරටත් දියුණුවෙලා පවත්වාගෙන යන්න. ඒ ගැන හිතලා තමයි අපි සේවක සංගමයක් හැටියට එකතුවෙලා ආයතන බලධාරීන් දැනුම්වත් කළේ. කිසිම දේකට ඇහුම්කන් දීමක් වුණේ නෑ. එහෙම ඇහුම්කන් නොදුන් නිසා තමා අපට මාධ්‍ය හමුවක් කැඳවලා කරුණු කියන්න සිද්ධවුණේ. ඒත් ඒ මාධ්‍ය හමුවෙන් පසුව මේ වෙද්දි සංගමයේ සභාපති, උප සභාපති සහ උප ලේකම් යන තිදෙනාගේම සේවය අත්හිටුවලා තියෙනවා. අපි මේ ගැන සියලුම බලධාරීන්ට ලිඛිතව පැමිණිලි කරලා තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරන්න සාකච්ඡාවක් හෝ ලබාදෙන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. නමුත් මේවන තෙක් ගරු සෞඛ්‍ය ඇමතිනි වත්, මේ වන කල් අවස්ථාවක් ලබාදුන්නෙ නෑ. ජනාධිපතිවරයාගෙන් සහ ජනතාවගෙන් ඉල්ලන්නෙ අපි කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න කියලා. අපි කිසිම දේශපාලන පක්ෂයකට ගැති කම් කරන්නේ හෝ කඩේ යන්නෙ නෑ. ප්‍රසිද්ධ මාධ්‍යවල 'සුවසැරිය කඩාකප්පල් කරන්න ගෙනාව දෙයක්, එහෙම නැත්නම් මේ වෙලාවෙ සිදුකරන සේවය කඩාකප්පල් කරන්න ගෙනාව දෙයක්' හැටියට හුවා දක්වනවා.  අපි ඉතාමත් පැහැදිලිව ඒ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. එහෙම කිසිම දෙයක් නෑ. අපි කිසිම දේශපාලන හස්තයකින් මෙහෙයවන්නෙ නෑ. අපි අපේ සේවක පක්ෂය නියෝජනය කරමින් සේවක සේවිකාවන්ට තියෙන ගැටළු ටික කියන එකම සේවයෙන් පහ කරන්නට තරම් හේතුවක් හැටියට සලකා ක්‍රියා කරනවා නම් සාධාරණය තියෙන්නෙ කොහෙද කියන ප්‍රශ්නය එනවා. මේ විදිහට ගියොත් මිනිස්සු ඇත්ත කතා කරන එක නවත්වනවා. මේ වෙනකල් කිසි කෙනෙක් මේ විදිහෙ ගැටළු සම්බන්ධයෙන් ඔයාලා ළඟ තියෙන සාක්ෂි මොනවද කියලා අපෙන් ඇහුවෙ නෑ. අහන්න, විමර්ශනයක් කරන්න.  අපි ඒ සාක්ෂි දෙන්නම්. 2016 සිට මේ වෙනකල් සිදුවුණු මූල්‍ය ගනුදෙනු ගැන සාක්ෂි සහිතව කතා කරන්නම්. "සේවක සංගමය සමග හිටියොත් ඔයාලගෙ රස්සාව නැති කරනවා" කියන අනිසි බලපෑම නිසා අද ගොඩක් සේවක සේවිකාවන් ඈත්වෙමින් යනවා. 1990 දේවක සේවිකාවන් ඇතුළු සියලු වෘත්තිකයින්ට අපි කියන්නේ මේ විදිහට සේවකයින් මර්ධනය කරන මේ ක්‍රියාදාමයට ඔබ අනුබල දුන්නොත් අපට විතරක් නෙවෙයි හෙට දවසේ සියලුම රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන්ටත් මේ දේ මේ විදිහට සිද්ධවෙයි."
 මෙම මාධ්‍ය හමුවට එක් වූ මාධ්‍යවේදියෙකු ඇයගෙන් විමසා සිටියේ මේවන විට සේවකයින් කොපමණ ප්‍රමාණයක් ආයතනයෙන් ඉවත් කරන්නට කටයුතු කර ඇත්ද යන්නයි.
 
"මේ වෙද්දි සේවක සේවිකාවන් 100ක පමණ ප්‍රමාණයක්  ආයතනික මාර්ගයෙන් අයින් කරන්නට සහ අයින් වෙන තැනට කටයුතු කරලා තියෙනවා. 2020-11- 20 වෙනිදා රෑ අටට පමණ තමා අපි තුන්දෙනාට ලිපි ලැබුණේ. "
 
"වැඩකරන ජනබලය" වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් මෙම අවස්ථාවට එක්වූ එහි  සම කැඳවුම්කරු රවි කුමුදේශ් එහිදී මෙසේ කියා සිටියේය.
 
"සුවසැරිය සම්බන්ධයෙන් මුල සිටම යම් යම් ගැටළු තිබුණා. යහපාලන රජය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයෙක් හිටියත් අමාත්‍යවරයා යටතේ නෙවෙයි, 1990 සුවසැරිය සේවාව යටත් කරලා තිබුණේ. ලෝකයේ කොහෙවත් රටක සෞඛ්‍ය සේවය, සෞඛ්‍ය නොවන සේවා අමාත්‍යවරයෙක් යටතට පත් කරන්නෙ නෑ. විශේෂයෙන් ඇම්බියුලන්ස් සේවායක් පත් කරන්නෙ නෑ. ඒ්ක සෞඛ්‍ය විෂයට අයිති දෙයක්. අද හර්ෂ ද සිල්වා කිසියම් ඩීල් ඒකක් නිසා තමා සෞඛ්‍ය සේවයට අයිතිවෙන්නට තිබූ සුවසැරිය වෙනත් අමාත්‍යංශයකක් යටතේ තියාගත්තෙ. ඒ්කෙ නිර්මාතෘවීම ගැටළුවක් නෑ. සෞඛ්‍ය සේවයට අදාළ සේවයක් සෞඛ‍්‍ය සේවයේ න්‍යායන්ට අනුව වැඩ කළ යුතුයි. මේ 1990 සුවසැරිය ආයතනයට නිලධාරීන් බඳවා ගත්තෙ කොහොමද? මේ සියලුදෙනා සිල්වලා වුණේ කොහොමද? සුදුසුකම් මොනවද? ඒ් අය කලින් හිටියෙ කොහෙද? සමහර අය බංකොලොත් කොම්පැණිවල සේවය කරපු අය. මේකෙ වැඩි පිරිවැයක් දරලා තියෙන්නේ ඇම්බියුලන්ස් සේවයට නොව නෙට්වර්කින් කරන්න. ඒ් ආයතනය මොකක්ද? විගණනය වුණේ කවදද? මේ සඳහා ලැබුණු ඉන්දියානු මුදල් වියදම් වුණේ කොහොමද කියන කාරණා හොයන්න ඔ්න. "
 
"මොනවටද? දැන් ප්‍රතිපාදන ලැබෙන්නෙ කොහොමද? මේවා ගැන ප්‍රශ්න අහන්න පුළුවන්. අද වෙද්දි අලුත් ආණ්ඩුවක් යටතේ මේක සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පත් කරලා තියෙනවා. සෞඛ්‍ය ඇමතිනියගේ අලුත් ප්‍රතිපත්ති හා ප්‍රතිපාදන වලට අනුව මේකෙ වැඩකරන්නෙ කවුද? පත්කරන්නෙ කොහොමද? මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉල්ලා ලිපි යවලා තියෙනවා. අවුරුදු දෙකකට වඩා වැඩ කරපු මේ කාර්යමණ්ඩලය ස්ථිර කළ යුතුයි. මේ සේවා මුර ජාත්‍යන්තර කම්කරු නීතියට අනුව සැකසිය යුතුයි. ඒහෙම නැතිව ඒක ඒක්කෙනාට ඔ්න විදිහට මේ කාර්යමණ්ඩලය යොදවලා පීඩාවට ලක් කරලා, අස්කරලා ඒ් මිනිස්සු සූරාගෙන කාලා අර උඩ ඉන්න මානව සම්පත් කළමනාකරණ කට්ටියට ඔ්න විදිහට බෙදාගන්න බෑ. මේක හර්ෂද සිල්වගෙ බූදලයක් නෙවෙයි. මේකෙ කිසියම් සේවයක් සිදුවුණා නම් ඒ් ගෞරවය යා යුත්තේ අඩු පඩියට, ස්ථීර පත්වීමක් හෝ නොලැබ, නිසි නවාතැන් පහසුකමක් නොමැතිව ගස් ගල් යට සිටින සේවක සේවිකාවන්ටයි. කාර්ය මණ්ඩලයටයි. ඒහෙම නැතිව හර්ෂ ද සිල්වට හෝ හර්ෂද සිල්වා දාපු බැටෑලියන් ඒකට මේක අයිති නෑ.  මේ ගැන කතා කරස මාධ්‍යවේදීන් පවා දඩයම් කිරීමට‌ සිල්වා සහ සමාගම කටයුතු කරමින් යනවා.  මේක සෞඛ්‍ය අමාත්‍යවරියගේ වගකීමක් මිසක් සිල්වලගෙ වගකීමක් නෙවෙයි. මේ පිළිබඳ සොයා බලන අමාත්‍යංශයෙන් පත් කළ නිලධාරියා ගැනත් සොයා බලන්න. මේ සේවය කාර්යක්ෂම සේවයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන්න. එහෙම නොවුණොත් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම වෘත්තීය සමිති විදිහට කටයුතු කරන්න සිද්ධවෙනවා. මේවන විට සිල්වලාගේ සමූහ ව්‍යාපාරය සේවක සේවිකාවන්ගෙන් තම ආයතනයේ අඩුපාඩු නොමැති බවටත්, වෘත්තීය සමිතිය තුළ ක්‍රියා කාරී නොමැති බවටත් අත්සන් ලබාගනිමින් සිටිනවා. එහෙම අත්සන් නොකළාත් අස් කරන බවට තර්ජනය කරමින් කූට වැඩපිළිවෙළක් ගෙනියනවා. බියවැද්දීම් කරනවා. මේක අතිශය නරක තත්ත්වයක්. වෘත්තීය සමිතියක් පිහිටුවනන්නට මේ රටේ මිනිසුන්ට තියෙන අයිතියට ගරු කරලා නෑ. වෘත්තීය සමිති නියෝජිතයින්ට තමන්ට තියෙන වෘත්තීය අඩුපාඩු කියන්න තියෙන අයිතියට ගරු කරලා නෑ. සේවකයින් ඉවත් කරද්දි ඔහුට තියෙන චෝදනා නිවරදිද කියලා හොයලා බලන්න චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා නෑ. සේවකයින්ට කරුණු දක්වන්න අවස්ථාවක් දීලා නෑ. හැබැයි මානව සම්පත් කළමනාකරණය කරන්න පඩි ගන්න ලොක්කෙක් ඉන්නවා. එයා කරන්නෙ සේවකයින් අස්කරන්න ලියුම් ගහන එක විතරයි. එැ වැඩේට විතරක් මානව සම්පත් අංශයකට පඩි ගෙවන්න ඔ්න නෑ." රවි කුමුදේශ් මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
 
මෙම අවස්ථාවට එක්වෙමින් 'වැඩකරන ජනබලය වෘත්තීය සමිති එකමුතුව' වෙනුවෙන් ලංකා බැංකු සේවක සංගමයේ කේෂර කෝට්ටේගොඩ මහතා මෙලෙස අදහස් දැක්වීය.
 
"මේ අය කොවිඩ් වසංගත සමයේ සුවිශේෂී කාර්යභාර්යයක් කළ සේවක මණ්ඩලයක්. ඔවුන් තම ආයතනික අඩුපාඩු ගැන කතා කළාම එහි කළමනාකාරිත්වය විසින් නෙරපා හැර තිබෙනවා. මේ නෙරපා හැරීමට පසු එම අනීතික ක්‍රියාවලියට එරෙහිව සහ සුවසැරිය ගිලන් රථ සේවයේ අභිවෘද්ධිය වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රටට කරුණු ඉදිරිපත් කරන්නට තීරණය කර තිබෙනවා. මේ මාධ්‍ය සාකඡාවෙන් පසුව ජනතාවගෙ විපක්ෂය කියලා බෝඩ් එල්ලගෙන කතා කරන හිටපු ඇමතිවරයෙක් පාර්ලිමේන්තුව තුළ කතා කරලා කියනවා මේ වෘත්තීය සමිති නිලධාරීන්ට ඔ්නෑම දඬුවමක් දෙන්න අපි විපක්ෂය හැටියට සහය දෙනවා කියලා.
අද ඒකාබද්ධ විපක්ෂය කියලා පාර්ලිමේන්තුවේ සිටින අය ඒ අය බලයේ සිටින කාලයේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියලාට විරුද්ධව පිකට් කරපු කට්ටියක්. මේ සුවසැරිය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සිල්වා කෙනෙක්. මානව සම්පත් කළමනාකාරිණී සිල්වා කෙනෙක්. අන්න ඒ පාලක පක්ෂය නියෝජනය කරන සිල්වා කෙනෙක් තමා සෞඛ්‍ය ඇමතිතුමියට සේවකයින් මර්දනය කිරීමට පාර්ලිමේන්තුවෙදි පොල්ලක් දුන්නෙ. වෘත්තීය සමිතියක් ස්වකීය කාර්යභාර්ය නිවරදි ලෙස ක්‍රියා කළාම අඩුපාඩු නිවරදි කර ගැනීම වෙනුවට එම වෘත්තීය සමිති මර්දනය කිරීම නොකළ යුතුයි. මෙම සේවක දඩයම ලංකාවෙ තියෙන නීති රීති වලට අනුවත්, ජාත්‍යන්තර වශයෙන් ලංකාව අත්සන් කර ඇති කම්කරු සම්මුතින් වලටත් පටහැණියි.  විපක්ෂය දෙන ලණු කාලා සෞඛ්‍ය ඇමතිතුමිය මුළු ලෝකයක් ඉස්සරහා රට අපකීර්තියට පත් කරන ගෝත්‍රික ක්‍රියාමාර්ගවලට නොයයි කියලා අපි විශ්වාස කරනවා. සුවසැරිය සේවක මණ්ඩලය අවදානමක් අරගෙනයි සේවය කරන්නෙ. ඒ අයට මාස්ක් දුන්නා, ඇඳුම් කට්ටල දුන්නා කියන එක හරි. ඒවා නෑ කියලා නෑ. අපි කතා කරලා තියෙන්නෙ ඔවුන්ට නවාතැනක් නැතිකම. සේවිකාවන්ට ටොයිලට් පහසුකම් වත් නැති කම. පැය 24ක කාලයක සේවා මුරය. ලංකාවෙ මොනම ආයතනයකවත් මෙහෙම කම්කරු නීති උල්ලංඝණය කරන සේවා මුරයක් නෑ. ඔවුන්ගේ වැටුපෙන් සේවක අර්ථ සාධක අරමුදලට මුදල් බැරකරලා නෑ. මේ ආයතනයේ දූෂණ අක්‍රමිකතා කෙළ කෝටියක් තියෙනවා. අපි "වැඩකරන ජනබලය" විදිහට විගණකාධිපති හමුවට ගිහින් මේ ගැන කරුණු දක්වනවා. මේ දූෂණ අක්‍රමිකතා හොයන්න බලකරනවා. මේ අසාධාරණ ලෙස සේවයෙන් පහ කර ඇති සුවසැරිය ගිලන්රථ සේවයේ සේවක පිරිස වහාම සේවයේ පිහිටුවා ඔවුන්ට සාධාරණට ඉටු කළ යුතුයි. එසේ නොකළොත් මෙම අරගලය ජාත්‍යන්තරය දක්වා ගෙන ගොස් මීට එරෙහිව ගත හැකි ඔ්නෑම ක්‍රියාමාර්ගයක් ගන්නා බව කිව යුතුයි."
 
මෙම අවස්ථාවට එක්වෙමින් වැඩකරන ජනබලය වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු, තැපැල් සේවක සංගමයේ චින්තක බණ්ඩාර  මහතා මෙලෙස අදහස් දැක්වීය.
 
"මේ 1990 සුවසැරිය ලංකාවට ලැබෙන්නෙ ඉන්දියාවෙ ප්‍රදානයක් විදිහට. ඒක හර්ෂ ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සිදුවූ ප්‍රදානයක් හැටියට ලැබුණු බව තමා ප්‍රචාරය කෙරුවෙ. ඒත් මේ වෙද්දි එම ආයතනය සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පත් කරලා තියෙනවා. දැන් මේක රාජ්‍ය ආයතනයක්. දැන් රාජ්‍ය ආයතනයක සේවකයන් ට තමන්ගේ සේවය පිළිබඳ කිසියම් ගැටළුවක් ඇතිවුණාම, ස්වකීය වෘත්තීය නිසි ලෙස කරගෙන යාමට නොහැකි ලෙස ගැටළු මතුවුණාම පිළිගත් වෘත්තීය සමිති කටයුත්තකට අවතීර්ණ වුණාම ආයතනය විසින් එම සේවකයින් වහාම වැඩතහනමකට ලක් කරනවා. මේක රාජ්‍ය ආයතනයක් තුළ කිසිසේත්ම සිදුනොවිය යුතු දෙයක්. රාජ්‍ය වෙිවා පෞද්ගලික වේවා අර්ධ රාජ්‍ය වේවා කිසිම ආයතනයක සිදුනොවිය යුතු දෙයක්. ලෝක කම්කරු සංවිධානයේ පවත්නා නීති රීති අනුව මෙරට කම්කරු නීතිය පවත්වාගෙන යාමට රජය බැඳී සිටිනවා. ඒ නිසා වෘත්තීය සමිති පවත්වාගෙන යාමට, ක්‍රියාකාරී වීමට ඔ්නෑම පිළිගත් ආයතනයක සේවක සේවිකාවන්ට අයිතිය තියෙනවා. ඒ අයිතිය උල්ලංඝණය කිරීමට කිසිදු රාජ්‍ය ආයතනයකට හෝ පෞද්ගලික ආයතනයකට හැකියාවක් නෑ. මේ සේවකයින්ට කර ඇති බරපතළ හානිය මේ රජය විසින් නිවරදි කළ යුතුයි. මේක හර්ෂද සිල්වා මහතා ආරම්භ කළත්, මෙය ඔහුගේ පුද්ගලික දේපළක් නොවන බවත් අවධාරණය කළයුතුයි. මේක රටේ මහජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වෙන ආයතනයක්.  සෞඛ්‍ය ඇමතිතුමිය ඉක්මනින් මැදිහත්වී දැනට වැඩතහනමට ලක්ව ඇති සේවක පිරිස සේවයේ පිහිටුවාවි යයි අපි බලාපොරෝතතු වෙනාව. එහෙම නොවුණොත් සුවසැරිය සේවක සේවිකාවන් සම්බන්ද නොවුණත් "වැඩකරන ජන බලවේගය' විදිහට රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පුද්ගලික අංශයේ වැඩකරන ජනයා ඒකරාශි කරගෙන මේ රටේ දැවැන්ත වෘත්තීය සමිති ව්‍යාපාරය හැටියට හෙට දවසේත් අරගල කරන්නට අපි සූදානම්." චින්තක බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතාද, උද්ගතව පවත්නා තත්ත්වය පිළිබඳ මෙලෙස අදහස් පළ කළේය.
 
"මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ සුවසැරිය විනාශ කරන්නවත්, සුවසැරියෙන් වෙන සේවාව අවතක්සේරු කරන්නවත් නෙවෙයි. අවමන් කරන්නවත් නෙවෙයි. මේක රටට විශාල සේවයක් කරනවා. මේ සේවකයින්ට සිදුවන අසාධාරණය ගැන කියන්න අවස්ථාවක් තිබිය යුතුයි.. මේ සේවකයින්ට ඉන්න සිද්ධවෙලා තියෙන්නෙ ගිලන්රථය තුළමයි.‌ පොලීසි වලයි, පාරවල්වලයි තැන තැන . 2018 රු.මිලියන 600ක් වෙන් කළා මේ සේවක සේවිකාවන්ට නවාතැන් පහසුකම් සලසන්න. ඒ මිලියන 600ක මුදල්වලට මොකද වුණේ කියලා අපි හර්ෂද සිල්වගෙන් අහන්න කැමතියි. ඒ මුදල් නිසි ලෙස අවශ්‍ය කටයුතු සඳහා යෙදවූයේ නම් මේ සේවකයින්ට ස්වකීය ගැටළු මේ විදිහට ඉදිරිපත් කරන්න වෙන්නෙ නෑ. සේවා ගැටළු ගැන කතා කළාම තමා මේ ප්‍රශ්නය එන්නෙ. හර්ෂද සිල්වා තමන්ගෙ ප්‍රචාරණය සඳහා යෙදවූයේ සුවසැරිය තමයි. දැන් මේක රජයේ. මන්ත්‍රීවරයා වත් ආණ්ඩුවෙ නෙවෙයි, විපක්ෂයේ. දැන් ඔහු කළ යුත්තේ ආණ්ඩුවට හේත්තුවෙලා සේවකයින් මර්දනය කිරීමද? නෑ. මේ සේවක සේවිකාවන්ගේ වෘත්තීය ගැටළුවලට විසඳුම් ලබාදීම. මේවා විගණනය කරන්න කීවම ඒවට බයවෙන්නේ  යම්කිසි යටි අරමුණක් තියෙනවද කියන සැකය අපට  තියෙනවා." ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
මෙම අවස්ථාවට තවත් වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.
 
 
 
පී.ඩබ් මුතුකුඩආරච්චි