විදේශීය සංචාරකයින් සදහා ගුවන්තොටුපල විවෘත කිරීමට කමිටුවක්

විදේශීය සංචාරකයින් සදහා ගුවන්තොටුපල විවෘත කිරීමට කමිටුවක්

විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙනයාම සදහා ගුවන්තොටුපල විවෘත කිරිම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහමිත්මිය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙම සාකච්ඡාව සදහා වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන් ඇතුලු සෞඛ්‍ය බලධාරීන්, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම, සංචාරක සංවර්ධන අධීකාරිය හා හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රධානීන් රැසක් සහභාගීව සිටියහ.

එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල විවෘත කර සංචාරක කර්මාන්තය ඉදිරියට නගා සිටුවීම සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරිමට අදාලව මූලික සැළසුම් සකස් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සහ සංචාරක අමාත්‍යාංශය මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට අදාල අංශ නියෝජනය කරන සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කරන ලදි. එම කමිටුවේ තින්දු තීරණ පරිදි විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාලව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය අතුලු පිරිසක් එක්ව සිටියහ.