ලංගම සේවකයින්ට විශේෂිත දිරිදීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක්

ලංගම සේවකයින්ට විශේෂිත දිරිදීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක්

දැඩි දුෂ්කරතාවන් දරාගෙන තමන්ට සිදුවිය හැකි ජීවිත අවධානම පවා නොසළකා අත්‍යාවශ්‍ය මහජන සේවාවක් සිදුකරනු ලබන ශ්‍රී ලංගම සියලූම සේවකයන්හට 2020 වසර සඳහා විශේෂිත දිරි දීමනා මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කොරෝනා උවදුර නිසා තමන්ට සිදුවිය හැකි ජීවිත අවධානම තම දොයිතුවකටවත් නොසළකා දැඩි කැපකිරීමකින් යුතුව අගනා අත්‍යවශ්‍ය මහජන සේවාවක් සිදුකරනු ලබන ශ්‍රී ලංගම සේවකයින්හට 2020 වසර වෙනුවෙන් විශේෂිත දිරි දීමනා මුදලක් ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස අප සංගමය පළමුව ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු.

මේ මොහොත වනවිට ශ්‍රී ලංගම සේවකයින් අත්‍යාවශ්‍ය සේවාවන් වන සේවය කරන සේවකයන් සහපොදු මගී ජනතාව ප්‍රවාහනය සිදුකිරීම කරනු ලබයි. මෙම ක්‍රියාවලිය ඔවුන් සිදුකරනු ලබන්නේ මුව ආවරණ, අත් වැසුම් සහ අනිකුත් සෞඛ්‍යමය පහසුකම් නොමැතිවය. ඇතැම් ඩිපෝවල විධිමත්ව විෂබීජහරණය පවා සිදුකරන්නේ නැත. අත සෝදන බෙහෙත් දියර ලබාදෙන්නේ ද නැත. ඒ අනුව ශ්‍රී ලංගම සේවකයන්හට උපරිම සෞඛ්‍ය පහසුකම් ලබාදිය යුතු නමුත් එසේ සිදුවන්නේ ද නැත. අත්‍යාවශ්‍ය සේවාවන් සිදුකරන අනිකුත් ආයතනවලට ලබාදෙන සෞඛ්‍යමය පහසුකම් ශ්‍රී ලංගම සේවකයන්හට ඒ ආකාරයෙන්ම ලබා නොදේ. රණවිරුවන්, සුවවිරුවන් හා සමානවම ශ්‍රී ලංගම විරුවන් ද සිදුකරනු ලබන්නේ අගනා අත්‍යාවශ්‍ය මහජන සේවාවකි.

ගරු ජනාධිපතිතුමනි,

ශ්‍රී ලංගම සේවකයන් මේ මොහොතේ දැඩි ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණදී ඇත. එමනිසාම ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් 2020 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා මුදල් ලබාදීමට මුදල් අමාත්‍යාංශයෙන් මූල්‍ය ප්‍රතිපාදන ඉල්ලා ඇත. නමුත් මුදල් අමාත්‍යාංශයෙන් එම මූල්‍ය පත‍්‍ර ප්‍රතිපාදන ලබානොදෙන බවට අප සංගමයට තොරතුරු ලැබී ඇත. එමනිසාම කොරෝනා උවදුර නිසා තමන්ගේ ජීවිතවලට සිදුවන හානිය තඹ දොයිතුවකටවත් නොසළකා සෞඛ්‍ය පහසුකම් පවා නොලබා දැඩි කැපකිරීමකින් අත්‍යාවශ්‍ය මහජන සේවාවක් සිදුකරනු ලබන ශ්‍රී ලංගම සියලූම සේවකයන්හට 2020 වර්ෂය වෙනුවෙන් විශේෂිත දිරි දීමනා මුදලක් ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටින්නෙමු.