ප්‍රධාන අධ්‍යාපන ආයතන අමතක කර පෙර පාසල් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හැදීමට විරෝධය

ප්‍රධාන අධ්‍යාපන ආයතන අමතක කර පෙර පාසල් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හැදීමට විරෝධය

පළාත් සභා හා ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික අධ්‍යාපන කොමිසම ආදී අධ්‍යාපනය සම්බන්ධ ප‍්‍රතිපත්තිමය තීරණ ගන්නා ආයතන නොසලකා හැර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝණය කරමින් පෙර පාසල් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳව ලංකා ගුරු සංගමය පුවත්පත් නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප‍්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍යාංශය විසින් මුල් ළමාවිය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් එළි දක්වා ඇත. මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවකින් මෙම ප‍්‍රතිපත්තිය සකස් කොට ඇත. මෙම ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී ඒ සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් වගකිව යුතු ආයතන වන ජාතික අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් සභා නියෝජනය නොසලකා මෙම කටයුතු සිදුකර ඇත.

1939 අංක 31 දරණ අධ්‍යාපන ආඥා පනතට අනුව පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සකස් කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශය සතුය. 2013 වසරේ දී එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනාධිපති කාර්යාලයේ ද මග පෙන්වීම සහිතව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සමග පූර්ව ළමාවිය අධ්‍යාපනය පිළිබඳව ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයට පවරන ලදී.

එසේ වුවද 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සසස පරිශිෂ්ඨයේ (ඇමුණුම 1) තුළ පෙර පාසල් අධීක්ෂණය කිරීමේ හා කළමනාකරණය කිරීමේ බලය පළාත් සභා සතුය. එසේ වුවද ප‍්‍රමිතිය පවත්වාගෙන යාම, කළමනාකරණය හා අධීක්ෂණයේ වගකීම රේඛීය අමාත්‍යාංශය යටතේ පවතී. එසේම 2015.09.21 දිනැති 1933/13 අති විශේෂ ගැසට් පත‍්‍රයෙන් පෙර පාසල් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය සම්පාදනය කිරීම හා කි‍්‍රයාත්මක කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ඇත.

2014 වර්ෂයේ දී ජාතික අධ්‍යාපන කොමිසම විසින් පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියක් කෙටුම්පත් කර තිබුණි. විවිධ සාකච්ඡාවලින් අනතුරුව අධ්‍යාපන ලේකම්ගේ අනුමැතිය ඇතිව සකස් කළ මෙම කෙටුම්පත මුල් ළමාවිය රැකවරණය පිළිබඳ ජාතික කමිටුවට ඉදිරිපත් කොට ඇති අතර, පෙර පාසල් පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය පිළිබඳව 2019.12.17 වන දින අංක 19/3465/219/015 අංකයෙන් යුත් අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාව ඩලස් අලහප්පෙරුම අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සංශෝධනයට යටත්ව එයට අනුමැතිය ලබා දී ඇත.