කොරෝනා ගැන ජනතාවගේ අවධානය ගිලිහිලා – සෞඛ්‍ය වෘත්තීය සමිති

කොරෝනා ගැන ජනතාවගේ අවධානය ගිලිහිලා – සෞඛ්‍ය වෘත්තීය සමිති

කොවිඩ් 19 පාලනයේදී සෞඛ්‍ය සේවයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිටිය යුතු යැයි සෞඛ්‍ය වෘත්තීය සමිති හමුවේ රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අවධාරණය කළාය.

අමාත්‍යවරිය මේ බව සදහන් කලේ සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේදීය.

කොවිඩ් 19 වසංගත රෝගය මැඩපැවැත්වීම සදහා සෞඛ්‍ය අංශයේ සියලු දෙනා දම්වැළක පුරුක් මෙන් එකට සිට කටයුතු කිරීම වැදගත්වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

දරුණුතම වසංගත රෝග ගණනාවක් සාර්ථකව මැඩපැවැත්වූ රටක් ලෙස අප රට ඉතිහාසයට එක්ව ඇති අතර ඒ් සදහා සමස්ථ සෞඛ්‍ය සේවයේ සියලු දෙනා එක්ව කටයුතු කල ආකාරය සිහිපත් කල රාජ්‍ය අමාත්‍යවරිය කොවිඩ් 19 පලමු රැල්ල පාලනය කිරීමේදී සියලු දෙනා දැක්වූ කාර්යක්ෂම සේවය පිළිබදවද සිය කෘතවේදීත්වය පළකලාය.

කොවිඩ් 19 දෙවැනි රැල්ල පාලනයේදී බිම් මට්ටමේ පවතින සම්බන්ධීකරණ ගැටළු සහගත තැන් පිළිබදවත් කොවිඩ් 19 පිළිබදව ජනතාවගේ අවධානය ගිලිහීයාම පිළිබදවත් වෘත්තීය සමිති නායකයින් විසින් රාජ්‍ය අමාත්‍යවරියගේ අවධානයට යොමුකල අතර රාජකාරී ඉටුකිරීමේදී තමන්ට මුහුණ පෑමට ඇති ගැටළු සහගත තැන් පිළිබදව රාජ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමුකල වෘත්තීය සමිති නායකයින් මෙහිදී කියා සිටියේ දුෂ්කරතා මධ්‍යයේ වුවද සිය සංගම්වල සාමාජිකයින් සේවයට කැපවී සිටින බවයි.
වසංගත රෝග තත්වය පාලනය කිරීමට කැපවී සිටින සෞඛ්‍ය සේවයේ සුව විරුවන්ගේ ආරක්ෂාව පිළිබදව විශේෂයෙන් අවධානය යොමුකල යුතු බව සදහන් කල රාජ්‍ය අමාත්‍යවරිය ඒ සදහා වැඩපිළිවෙළක් සැකසීම කෙරෙහි අවධානය යොමුකරන බව මෙහිදී සිහිපත් කළාය.

මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සමස්ථ ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ, වෛද්‍ය පර්යේෂණාගාර කාර්මික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු, රජයේ සෞඛ්‍ය ගිලන්රථ ප්‍රවාහන රියදුරන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ඩී විජේසිංහ ඇතුළු වෘත්තීය සංගම් නායකයින් පිරිසක් එක්වූහ.