පවතින වසංගත තත්ත්වය තුළ හෝටල් සේවකයන් විශේෂ දීමනාවක් ඉල්ලයි

පවතින වසංගත තත්ත්වය තුළ හෝටල් සේවකයන් විශේෂ දීමනාවක් ඉල්ලයි

අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානය විසින් දෙසැ.18 දින මාධ්‍ය හමුවක් පවත්වන ලදී. ඒ සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි මහතා සහ හෝටල් සේවක මධ්‍යස්ථානයේ සංවිධායක ජයතිලක රණසිංහ මහතා ඇතුලූ හෝටල් වෘත්තීය සමිති ශාඛා නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.

මෙහිදී අදහස් දක්වමින් ජානක අධිකාරි මහතා කියා සිටියේ මේ වනවිට හෝටල් ක්‍ෂෙත‍්‍රයේ සේවක සහෝදර සහෝදරියන් දැවැන්ත ආර්ථික හා සමාජීය අර්බූදයකට මුහුණපා සිටින බවය. එයට ප‍්‍රධාන හේතුව වශයෙන් පසුගිය 2019 අපේ‍්‍රල් 21 සිදුවූ පාස්කු ප‍්‍රහාරය හා ඉන් අනතුරුව රට තුල වර්ධනය වූ කොරෝනා වසංගතයේ බලපෑමෙන් සංචාරක කර්මාන්තයට සිදුව ඇති අර්බූදකාරි තත්වය පෙන්වා දෙන ලදී.

පහල මට්ටමක මූලික වැටුප්තලයන් වල සිටින ස්ථිර සේවකයන් මෙන්ම අනියම්, කොන්ත‍්‍රාත්, තාවකාලික පදනම් වල සේවයේ නියුක්ත කර ඇති සේවක සේවිකාවන් ද මෙම අර්බූදයේ ගොදුරු බවට සිය දරුපවුල් සමග පත්ව ඇත. එක්අතකින් සේවක සේවිකාවන්ගේ රැකියා අහිමිවීමක් සිදුව ඇති අතර තවත් පිරිසක් රැකියා අහිමි වීමේ තර්ජනයට මුහුණපා ඇත. එමෙන්ම රැකියාවන් හි නියුක්ත සේවකයින් පවා සිය වැටුප මූලික පඩිපතට සීමා වී සේවා ගාස්තු වශයෙන් ලැබෙන්නා වූ දීමනා විශාල වශයෙන් අහිමි වී ඇත.

එසේ හෙයින් කම්කරු අමාත්‍යවරයාත්, සංචාරක අමාත්‍යවරයාත් හෝටල් ක්‍ෂෙත‍්‍රයේ සේවක සේවිකාවන්ගේ මෙම දුක්ගැනවිල්ල කෙරෙහි අවධානය යොමු කළ යුතු බව සහ හෝටල් ක්‍ෂෙත‍්‍රයේ නියුතු සේවක සේවිකාවන් හට පවත්නා අර්බූදකාරි තත්ත්වය පහව යනතෙක් යම් විශේෂ දීමනාවක් ගෙවීම සඳහා කටයුතු කරන ලෙස ජානක අධිකාරි මහතා අවධාරණය කර සිටියේය.

එමෙන්ම ආණ්ඩුවට මෙම වගකීමෙන් ගැලවිය නොහැකි බවත්, සංචාරක කර්මාන්තයේ මෙම කඩාවැටීමට පැවති ආණ්ඩුව මෙන්ම පවතින ආණ්ඩුවත් ඍජුවම වගකිවයුතු බවට මෙහිදී අවධාරණය විය.

එනම් අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරය හේතුවෙන් බිඳවැටුනු සංචාරක කර්මාන්තයට ඍජුවම රනිල් - මෛතී‍්‍ර ආණ්ඩුව වගකිවයුතු බවත් ඊට හේතුව එවැනි ප‍්‍රහාරයක් එල්ල වන බව දැන දැනම එය වැළැක්වීම සඳහා කිසිදු සාධනීය කි‍්‍රයාමාර්ගයක් එකී දේශපාලන අධිකාරිය නොගැනීමෙන් එවැනි ප‍්‍රහාරයක් එල්ල වීමට සිතාමතා ඉඩ තැබීමෙන් බිඳවැටුනු සංචාරක කර්මාන්තයේ සේවකයාගේ වගකීම එකී ආණ්ඩුවට ඇත.

එමෙන්ම ඉන් අනතුරුව නැවතත් ගොඩනැගෙමින් ආ සංචාරක කර්මාන්තය කොරෝනා වසංගතය හේතුවෙන් අර්බූදයට ලක්ව ඇති අතර එකී කොරෝනා වසංගතය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමට හැකියාව තිබියදී තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු කළ වර්තමාන දේශපාලන අධිකාරිය ඒ හේතුවෙන් නැවත වතාවක් සංචාරක කර්මාන්තයේ බිඳවැටෙන තත්වයට ඉඩකඩ සලසන ලදී. විශේෂයෙන් කොරෝනා වසංගතයේ පළමු වටය යම් පාලනයකට ලක්කොට නැවත වතාවක් සංචාරක කර්මාන්තයේ යම් වර්ධනයක් අත්පත් වෙමින් පවතින විට 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ උවමනාව මත දෙවන වටයේ කොරෝනා පොකුරු නිර්මාණය වීම ඇස් පනාපිට සිදුවෙමින් පැවතියදී අහක බලා සිටි දේශපාලන අධිකාරිය ඒ හේතුවෙන් නැවතත් බිඳ වැටුනු සංචාරක කර්මාන්තයේ නියුතු සේවක වගකීම ගතයුතුවම ඇත.

එසේ හෙයින් දේශපාලන අධිකාරියට මෙම වගකීමෙන් අත්මිදිය නොහැක. මෙම තත්ත්වය යටතේ හෝටල් සේවකයින්ට විශේෂ දීමනාවක් රජය මැදිහත්වී ලබාදිය යුතු බවට බලකර සිටින හෝටල් සේවක මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් හෝටල් සේවකයන් සම්බන්ධ කරගත් උද්ඝෝෂණයක් සංචාරක අමාත්‍යාංශය ඉදිරිපිටදී දෙසැ. 23 දින උදේ 10 ට පවත්වන බවට ද ප‍්‍රකාශ කර සිටින ලදී.