මීළග කොවිඩ් එන්නත්වල ප්‍රමුඛතාව සංචාරක හා කර්මාන්තශාලා සේවකයින්ට

මීළග කොවිඩ් එන්නත්වල ප්‍රමුඛතාව සංචාරක හා කර්මාන්තශාලා සේවකයින්ට

දිවයිනට ගෙන ඒමට නියමිත ඊළග කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍ර යේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාවය ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකගත්වය පළ කළ බව විෂයභාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

ඒ අනුව මේ මස අග වන විට සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවූවන්ට හා දිවයිනේ සියළු කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට කොවිඩ් එනන්ත ලබා දී අවසන් කිරීමට හැකිවනු ඇති බවට ද ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබද සාකච්ඡා කිරීම සදහා අද (03) සංචාරක අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය. සාකච්ඡාව සදහා කැදවා තිබුණේ කොවිඩ් 19 ට පෙර මෙරටට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වීම සදහා කටයුතු කළ සංචාරක සංවිධාන කරනු ලබන ආයතනයි. වර්තමාන තත්ත්වය තුළ ඔවුන් මුහුණ දෙන ගැටළු විසදීම සදහා මෙම සාකච්ඡාව කැදවා තිබිණ.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සදහන් කළේ කොවිඩ් එන්නත ලබා දීමේ දෙවන අදියර දැන් ක්‍රියාත්මක බවයි. මෙහි දී කොවිඩ් රෝගය වැඩි වශයෙන් වාර්තා වු බස්නාහිර පළාතේ ග්‍රාමසේවා වසම් මට්ටමින් වයස අවුරුදු 30ට වැඩි පිරිස් වලට එන්නත ලබා දීම සිදු කෙරේ. ඊයේ වන විට 553,821 කුට මෙම එන්නත ලබා දී ඇතැයි ද ඇමතිවරයා මෙහි දී කීවේය.

සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සේවකයන්, සංචාරක මග පෙන්වන්නන්, රියදුරන් ඇතුළු 20,000කට ආසන්න පිරිසකගේ නාම ලේඛන මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත යොමු කර ඇතැයිද ඇමතිවරයා මෙහි දී සදහන් කළේය. ඊට අමතරව සංචාරක ක්ෂේත්‍ර යේ නියුතු සෙසු පිරිස් වලට ද එන්නත ලබා දීම සදහා පියවර ගනිමින් සිටින බව ද ඇමතිවරයා කීවේය.

දිවයින පුරා ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කළාප 14 ක් පිහිටි තිබේ. ඊට අමතරව කර්මාන්තපුර ද පිහිටා ඇත. නිදහස් වෙළද කළාප 14 තුළ පමණක් කර්මාන්තශාලා 250 කට අධික සංඛ්‍යාවක් පිහිටා ඇතැයි ඇමතිවරයා කීවේය. ඒවායේ සේවය කරනු ලබන සේවක සේවිකාවන් ගණන 130,000 ඉක්මවයි. ඔවුන් ද ඇතුළත්ව දිවයින පුරා කර්මාන්තශාලා 1700 කට වැඩි සංඛ්‍යාවක සේවය කරන සේවක සේවිකාවන්ට මේ යටතේ කොවිඩ් එන්නත ලබා දීම ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා මෙහි දී සදහන් කළේය.

සංචාරක සංවිධාන කරනු ලබන ආයතන වල නියෝජිතයන් මේ වන විට සංචාරකයන් දිවයිනට ගෙන්වීමේ දී මුහුණ පෑමට සිදුව ඇති ගැටළු කීපයක් පිළිබදව ද ඇමතිවරයාගේ අවධානය යොමු කළේය. විශේෂයෙන් ම මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි විදෙස් රටවල් රැසක් තවමත් සිය ජනතාවට සංචාරය සදහා අවසර ලබා නොදීම මෙන්ම මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන්ට වීසා ලබා ගැනීමේ දි ඇති වන දුෂ්කරතා සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු කෙරිණි.

ආගමන විගමන දෙපාර්තුමේන්තුව සමග සාකච්ඡා කර එම ගැටළුවට කඩිනමින් විසදුම් ලබා දෙන බව ද ඇමතිවරයා කීවේය. ඊට අමතරව සංචාරකයන් ගෙන්වීමේ දී ඇති සීමා පිළිබද ව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මේ පිළිබද ව කොවිඩ් කමිටුවේ හා සෞඛ්‍ය බළධාරින්ගේ අවධානය යොමු කිරීමට ද මෙහි දී තීරණය කෙරිණි.