අහිමි හිමිකම් රැකගන්න මන්ත්‍රීවරියන් පෙරට

අහිමි හිමිකම් රැකගන්න මන්ත්‍රීවරියන් පෙරට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම පාහේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින්  කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් යොමු කර තිබේ.
 
ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඔවුන් මෙලෙස ඉල්ලා ඇත.
 
ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම පිළිබඳව සොයා බලා ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම එකී විශේෂ කාරක සභාවෙන් අපේක්ෂා කෙරෙන බැව් සඳහන්ය.
 
ශ්‍රී ලංකාව තුළ සියලුම කාන්තාවන් සහ දැරිවියන් සවිබල ගන්වනු ලබන බව සහතික කරමින්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන වෙනස්කොට සැළකීම්වලට ලක්වූ අයගේ නොවිසඳී ඇති ගැටලුවලට පිළියම් සෙවීම සඳහා ද ප්‍රධාන වශයෙන් මෙම මෙම කාරක සභාව යෝජනා කර තිබේ.
 
මෙම ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දිසානායක මහතා පවසා ඇත්තේ  මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අංක 03 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර ඇති බවයි.
 
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිත්වය, රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී පුනාන්දුපුල්ලේ මහත්මිය විසින් දරනු ලබන අතර  ඇය ඇතුළ අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, පාර්ලිමේන්තු මන්ත්‍රීරියන් වන ආචාර්ය හරිනි අමරසූරිය, රෝහිණි කුමාරි විජේරත්න, තලතා අතුකෝරළ, ගීතා කුමාරසිංහ, කෝකිලා ගුණවර්ධන, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, මංජුලා දිසානායක, ඩයනා ගමගේ යන මහත්මීන්ද එය නියෝජනය කරයි.
 
මෙම කාරක සභාව සහ එහි සභාපතිවරයා කථානායකවරයා විසින් පත්කරනු ලැබිය යුතු බවත් යෝජිත කාරක සභාවේ සං‍යුතිය මන්ත්‍රීවරයන් 25 ගෙන් සමන්විත විය බවටත් යෝජනාකර ඇත.
 
සිය පළමු රැස්වීමේ දිනයේ සිට වසරක් ඇතුළත කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, එය සභාගත කර සති 08 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් වන සිය නිරීක්ෂණ සහ ගන්නා ලද පියවර විෂයභාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතු බවටද  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් යෝජනාකර තිබේ.
 
රැකියා, උසස්වීම් අවස්ථා සහ සේවා ස්ථානයේදී සිදුවන හිංසනයන් ඇතුළුව ස්ත්‍රී- පුරුෂ සමාජභාවය මත පදනම්ව කරනු ලබන සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් පිළිබඳ කාන්තාවන්ගේ දුක්ගැනිවිලි විභාග කර බැලීම, සියලුම අංශවලට සහ සියලුම මට්ටම්වලට ප්‍රමාණවත් අභ්‍යන්තර සම්පත් වෙන්කර දීම සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී - පුරුෂ සමතාව සහ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම සඳහා ඇති ප්‍රවේශය සමාලෝචනය කිරීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටීම ඇතුළු යෝජනා දහයක් (10) කාරක සභාවෙන් ඉටුවිය යුතු බවට මන්ත්‍රීවරියෝ යෝජනා කරති.