වතු සේවකයින්ට දෛනික වැටුප 1000 ක් කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

වතු සේවකයින්ට දෛනික වැටුප 1000 ක් කළ ගැසට් නිවේදනය නිකුත් වෙයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත්කරන ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර මාර්තු මස 05 වැනිදා සිට එම තීරණය බල පැවැත්වෙන ලෙස එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කළ යුතු බවට වූ යෝජනාව මුදල් අමාත්‍ය , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අයවැය යෝජනා අතරට ඇතුළත් කර තිබුණි.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය පුරා සාකච්ඡා වට ගණනාවක් පැවතියත් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය පඩි පාලක සභාව වෙත යොමු කළේය.

ඒ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 900 ක් සහ අයවැය සහන දීමනාව රුපියල් 100 ක් ලෙස පූර්ණ දෛනික වැටුප රුපියල් 1000ක් ගෙවීමේ තීරණයට පඩි පාලක සභාව පැමිණියේ ඉකුත් පෙබරවාරි 08 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

අනතුරුව ඒ සඳහා විරෝධතා දැක්වීමට පසුගිය පෙබරවාරි 15 වැනිදා දක්වා කල් දී තිබූ අතර ඉන් පසු පඩි පාලක සභාව පසුගිය පළමු වැනිදා යළි රැස්විය.

ඒ අනුව වතුකම්කරුවන්ට රුපියල් 1000ක දෛනික වැටුපක් ගෙවීම සම්බන්ධයෙන් ඉතුක් සභාවේ එළඹි තීරණය එම සභා රැස්වීමේදී ස්ථිර වූ අතර ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිතුක් කරන බවට කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.

ඒ අනුව මාර්තු මස 05 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කෙරන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒසේ වුවද වතු වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන ඒ්කාබද්ධව 1000 ව්‍යාපාරය ලෙස පසු ගිය කාලය පුරාවටම දැඩි බලපෑමක් සිදුකළ පිරිස් ඉල්ලා සිටියේ දෛනික වැටුප රු.1000ක් නොව දෛනික මූලික වැටුප රු.1000ක් කරන ලෙසය.

 

 

 estate