සිසුන්ගේ වසරක අධ්‍යාපනය අහිමිවීම සම්බන්ධයෙන් බලධාරින්ගේ අවධනයක් නෑ

සිසුන්ගේ වසරක අධ්‍යාපනය අහිමිවීම සම්බන්ධයෙන් බලධාරින්ගේ අවධනයක් නෑ

කෝවිඩ් - 19 වසංගත තත්ත්වය තුළ පාසල් අධ්‍යාපනය වසරකට ආසන්න කාලයක් අහිමිවීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කිසිදු අවධානයක් යොමුකර නැති බව චෝදනා කරමින් ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

කෝවිඩ් 19 වසංගත තත්වය මත 2020 මාර්තු මස 13 දින වසා දැමුණු ලංකාවේ පාසල් පද්ධතිය මේ වන විට සෞඛ්‍ය නිර්දේශ මත ආරම්භ වී ඇත. 2020.12.31 දිනැති 36/2020 අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛයේ සඳහන් පරිදි 2021 වසරේ පාසල් වාර සටහනට අනුව පාසල් පැවැත්විය යුතු දින ගණන දින 183 කි. 1997.08.08 දිනැති 97/15 දරණ චක‍්‍රලේඛයට අනුව ලංකාවේ පාසල් පැවැත්විය යුතු දින ගණන දින 210 කි. වසරකට දින 210 ක් පාසල් පැවැත්වීමට අදාළව විෂයමාලා සකස් කර ඇති අතර, කෝවිඞ් 19 වසංගත තත්වය තුළ 2020 වසරේ පාසල් පැවැත්වූයේ දින 70 කට ආසන්න ප‍්‍රමාණයක් වන අතර, සියලූම ශ්‍රේණි සඳහා සම්පූර්ණයෙන් පාසැල් පැවැත්වූයේ දින 50 කි. එසේම 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සමහර පාසල්වල එක් දිනක් හෝ පවත්වා නැත.

මෙම තත්වය තුළ 2020 වසරේ අතපසු වූ විෂය කොටස් ද සමග 2021 වසරේ දී දින 183 ක කාලයකින් විෂය මාලා දෙකටම අදාළව සිසුන්ට අධ්‍යාපන ලබාදීමට සිදුව ඇත. බස්නාහිර පළාත තුළ සියලූම ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීම සිදුවූයේ 2021 මාර්තු 29 දිනය. ඒ අනුව 2021 වසර සඳහා බස්නාහිර පළාතේ පාසල් ද දින 183 ක් පැවැත්විය යුතු වුවත්, පළමු පාසල් වාරයම නොපැවැත්වීම මත පාසල් පැවැත්විය හැකි දින ගණන 138 කි. සෞඛ්‍ය නිර්දේශ අනුව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් නිකුත් කරන ලද 2021.03.25 දිනැති ED/09/06/01/05-2021 sub අංකයෙන් යුතු ලිපියෙහි නිර්දේශවලට අනුව බස්නාහිර පළාතේ පාසල්වල ළමුන් 30 දක්වා සිටින පන්ති පැවැත්විය යුත්තේ කොටස් දෙකකටය. සිසුන් 30 ට වැඩි පන්ති ළමුන් 15 බැගින් කණ්ඩායම් කර සාමාන දින ගණනක් පැවැත්විය යුතුය. මේ තත්වය තුළ බස්නාහිර පළාතේ පාසල් පැවැත්වෙන දින 142 න් බොහෝ දරුවන්ගේ පාසල් පැමිණීම දින 71 ක් වැනි කාලයකට සීමා වේ. එහෙත් වසරකට දින 210 ක් සඳහා සකසන ලද විෂය මාලාවක් පසුගිය වසරේ මඟහැරුණු විෂය කොටස් ද සමග දරුවන් අධ්‍යයනය කළ යුතුය. මෙය ප‍්‍රායෝගි නොවන, බරපතල ගැටලූකාරී මෙන්ම දරුවන්ට දැඩි පීඩාකාරී තත්වයකි.

ආණ්ඩුව විසින් මෙම බරපතල ගැටලූව පිළිබඳව අවධානය යොමු කර ඊට පිළියම් යෙදීමට වැඩපිළිවෙලක් සකස් කර නැත. අධ්‍යාපනයේ පැන නැගී ඇති වර්තමාන අර්බුදය පසෙකලා මේ වන විට සිදු කරමින් සිටින්නේ දිගුකාලීනව සිදු කළ යුතු අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් පිළිබඳව ප‍්‍රචාරක ව්‍යාපෘතියක නියැලීමය. අධ්‍යාපනයට අදාළ ප‍්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍ය වුවද ප‍්‍රථමයෙන් සිදුකළ යුත්තේ වර්තමානයේ ළමුන්ට අහිමි වූ අධ්‍යාපන කාලයට පිළියම් යෙදීමයි. ලොව පුරා සියලූ රටවල් දැඩි කෝවිඞ් වසංගත තත්වයන්ට මුහුණ දුන්නද සෑම රටක්ම එම රටවල්වල පාසල් දරුවන්ගේ අඩාල වූ අධ්‍යාපන කටයුතු පිළිබඳ අවධානය යොමු කර දරුවන්ට පාඩුවක් නොවන පරිදි එම රටවල අධ්‍යාපනඥයන් ඇතුළු විවිධ පාර්ශව ඒකාබද්ධ කරමින් අවශ්‍ය වැඩසටහන් කි‍්‍රයාත්මයක කිරීමට ප‍්‍රමුඛතාවය දී කටයුතු කරයි.

කෝවිඩ් 19 වසංගත තත්වය තුළ අඩපණ වූ පාසල් අධ්‍යාපනය නඟා සිටුවීමට වැඩපිළිවෙලක් සකස් කිරීම ද ප‍්‍රමුඛ කොටගෙන ජනාධිපතිවරයා විසින් 2020 මාර්තු 31 දින 2169/2 අංකයෙන් යුතු අතිවිශේෂ ගැසට් පත‍්‍රයකින් අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධක බලකායක් ද පත් කරන ලදී. නමුත් එම කාර්ය සාධක බලකාය ළමුන්ට අහිමි වූ අධ්‍යාපන කාලයට පිළියමක් ලෙස කිසිදු වැඩපිළිවෙලක් යෝජනා නොකිරීම බරපතල කනගාටුදායක තත්වයකි. මේ සඳහා ආණ්ඩුවේ පිළියම වූයේ මාර්ග ගත ක‍්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කිරීමයි. එම කි‍්‍රයාවලිය අසාර්ථක බව අධ්‍යාපන ලේකම්වරයා ද මේ වන විට ප‍්‍රකාශ කර ඇත. බස්නාහිර පළාතේ දරුවන්ට දින 71 ක් වැනි කෙටි කාලයකින් දින 210 ක් අධ්‍යයනය කළයුතු විෂය මාලාවන් අධ්‍යයනය කිරීමට සිදුවීමෙන් ම මෙම කාර්ය සාධක බලකායේ ඵලරහිත භාවය ප‍්‍රදර්ශනය වේ.

මේ තත්වය පිළිබඳව විෂය මාලාව සකස් කරන ජාතික අධ්‍යාපන ආයතනය භාර අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා හමු වී අප විසින් කරුණු දක්වා තිබුණ ද මේ දක්වා ඊට පිළියම් ලැබී නැත. වසරක කාලයක් අහිමි වූ ළමුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කිරීම අධ්‍යාපන අමාත්‍යවරයා මේ වන විට අතපසු කර ඇති වගකීමක් බව ලංකා ගුරු සංගමය නැවතත් දැඩිව අවධාරණය කරයි.