චීනයේ වූහාන් වෙත මෙහෙයුම් පියාසැරිය කළ ගුවන් නියමුවා අස්කරලා

captain-chaminda-de-soyza

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී ගුවන් නියමු ප්‍රවීන් වෙත්තමුණි හා ප්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා එම තනතුරුවලින් ඉවත්කර ඇතැයි ‘අරුණ’ පුවත්පත වාර්තා කර තිබේ.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වෙන්නේ අදාළ නියමුවන් එම ධූරවලින් ඉල්ලා අස්වී ඇති බවයි. ඔවුන් එසේ ඉල්ලා අස්වී ඇත්තේ ශ්‍රීලංකන් ගුවන් සේවයට ප්‍රධාන පුහුණු ගුවන් නියමුවා පත්කර ගැනීමේදී ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් බවයි.

චමින්ද මහතා කොරෝනා වෛරසය ආරම්භ වූ මුල් අවස්ථාවේ වූහාන් හි සිරව සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට රැගෙනඒමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුවන් යානය පියාසර කළ එක් නියමුවෙක් වේ.

පියාසර කිරීමේ බලපත්‍රය කල් ඉකුත් වූ අයකු සහයක නියමුවකු ලෙස යොදා ගනිමින් ශ්‍රීලංකන් ගුවන් යානයක් පියාසර කිරීමට ඉඩ සැලැස්වීම මේ නිලධාරීන්ට එල්ලවූ ප්‍රධාන චෝදනාවකි.

මොවුන් ඉවත් කර ඇත්තේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවය විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුවය.

ඉකුත් වසරේ දෙසැම්බර් 15, 18 හා 19 තෙදින තුළ සහයක නියමුවකු ලෙස සුදුසුකම් නොලත් අයකුට ඒ 330 ගුවන් යානාවක දකුණු පස නියමු ආසනයේ ගමන් කිරීමට ඉඩ සලස්වා ගුවන් නියමු රෙගුලාසි කඩ කර ඇති බවට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා විසින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතාට කළ ලිඛිත දැනුම්දීමකට අනුව මේ ඉවත් කිරීම සිදු කර තිබේ.

(ලංකා මිරර්)