තුල්හිරිය මාස් කර්මාන්ත ශාලාවේ කෝවිඩ් පැතිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්න

තුල්හිරිය මාස් කර්මාන්ත ශාලාවේ කෝවිඩ් පැතිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන්න

තුල්හිරිය මාස් කර්මාන්ත ශාලාවේ සේවකයන් හාරසිය දෙනෙකුට (400) එකවර කොවිඩ් ආසාදනය වීම පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති සිල්වා මහතාට අද (20) නියෝග කළේය.

කර්මාන්තශාලාවල සෞඛ්‍යය ආරක්ෂක කමිටු පිහිටුවා කොවිඩ් වෛරසය පැතිරයාම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ,හාම්පුතුන්ට සහ වෘත්තී සමිති නායකයන්ට දිගින් දිගටම උපදෙස් දී තිබිය දී,මේ සා විශාල සේවක පිරිසක් එකම කර්මාන්තශාලාවක දී කොවිඩ් වෛරසයට ගොදුරුවීම බරපතළ කනගාටුදායක තත්ත්වයක් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙම කර්මාන්ත ශාලාවේ නියමිත පරිදි සෞඛ්‍ය කමිටු පිහිටුවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නිසි පරිදි පිළිබඳ කටයුතු කළේ ද යන්න පිළිබඳව වහාම පරීක්ෂණයක් හා විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

එසේම දැනට ක්‍රියාත්මක පෞද්ගලික අංශයේ කර්මාන්ත ශාලාවල සහ සේවා ස්ථානවල මෙම සෞඛ්‍ය කමිටු සක්‍රීය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා ආයතන ප්‍රධානීන්ගෙන් හා වෘත්තීය සමිති නායකයන් ගෙන් ඉල්ලීමක් කරයි.

මේ වනවිට රජයේ ගර්භනී සේවිකාවන්ට ලබා දුන් සහනයන් පෙරදැරිව පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා සහ සේවා ස්ථානවල සේවය නියුතු ගැබිනි කාන්තාවන්ට ද එම සේවා සහනයන් සහ නිවාඩු සහනයන් ලබා දීමට පෞද්ගලික අංශය සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.