Covid උපරිමයට ඇවිත් - රට වහන්න

Covid උපරිමයට ඇවිත් - රට වහන්න

ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බවත්, එය පාලනය කිරීමට නම් දින 14ක් දැඩි සංචරණ සීමා හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතයේ උච්ඡතම අවස්ථාවට පත්ව ඇති බවත්, එය පාලනය කිරීමට නම් දින 14ක් දැඩි සංචරණ සීමා හෝ නිරෝධායන ඇඳිරි නීතිය පැනවිය යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ දැනට පවතින පළාත් සංචරණ සීමා මෙම අවස්ථාවේදී ප්‍රමාණවත් නොවන බවයි.

එසේම දින 14ක් දැඩි සංචරණ සීමා පැනවිය යුතුය යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතුළු සියලුම විශේෂඥවරුන්ගේ මතය බවත් ඔහු අවධාරණය කරයි.වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. දින 14ක් දැඩි සංචරණ සීමා පනවන්නැයි ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමට බලාපොරොත්තු වන බව ද සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සංඛ්‍යලේඛන කුමක් වුවත් මේ වන විට රෝගීන් වාර්තාවීමේ වේගය සීඝ්‍රයෙන් ඉහළයමින් ඇතැයි කී වෛද්‍යවරයා මේ ආකාරයට රෝගීන් වාර්තා වුවහොත්, පැය 6කට හෝ 4කට වරක් ඇඳන් 1000ක අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානය බැගින් විවෘත කරන්නට සිදුවනු ඇතැයි ද කීවේය. ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇඳන් සංඛ්‍යාව වැඩිකර මෙම තත්වය පාලනය කළ නොහැකි බව කී වෛද්‍යවරයා පුහුණු සෞඛ්‍ය සේවකයන්ට දරාගත නොහැකි මට්ටමින් රෝගීන් වැඩි වුවහොත් දරුණු තත්වයක් ඇතිවනු ඇතැයි ද පැවසීය.

ඇඳන් වැඩිකර වසංගතය පාලනය කළ හැකි නම් ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවලටත් මෙය පාලනය කරන්නට හැකියාව තිබූ බව කී සෙනාල් ප්‍රනාන්දු මහතා ඉදිරි දින කීපය තුළ ගන්නා තීන්දු තීරණ මත රටේ ඉදිරිය තීරණාත්මක වනු ඇතැයි ද කීවේය.එමෙන්ම මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ අක්‍රමිකතා තිබූ බව කී වෛද්‍යවරයා වසංගත රෝග විද්‍යා අංශය එය ක්‍රමානුකූලව නොකිරීම ගැන තම සංගමයේ නොසතුටක් තිබෙන බව සඳහන් කළේය.