තරඟ විභාග අහිමි කිරීමේ අවධානමට එරෙහිව මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක්

තරඟ විභාග අහිමි කිරීමේ අවධානමට එරෙහිව මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක්

රජයේ දීප ව්‍යාප්ත සේවා තරඟ විභාග අවස්ථා අහිමි කිරීමේ අවධානමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සංවර්ධන නිලධාරී සේවා සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

2021.04.30 දින නිකුත් කරල ලද රජයේ ගැසට් නිවේදනය මගින් රජයේ දීප ව්‍යාප්ත සේවා තරඟ විභාග ඉදිරියට පැවැත්වෙන ආකාරය ප්‍රකාශයට පත්කර ඇත.

රජයේ දීප ව්‍යාප්ත සේවා තරඟ විභාගය විවෘත හා සීමිත ධාරාවන් 02 ක් ඔස්සේ මේ දක්වා පවත්වා ඇත. එහිදී සීමිත තරඟ විභාග අවස්ථාව හිමි වනුයේ දීප ව්‍යාප්ත සේවාවන්වල තනතුරුවලට අයත් නොවන රාජ්‍ය සේවාවන්හි නිරත ස්ථීර සේවකයින් සඳහාය.

නමුත් 2020.11.09 දින අමාත්‍ය මණ්ඩලයේ තීරණය පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිකුත් කර ඇති 2021.04.30 දිනැති ගැසට් පත්‍රයේ ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවාව සඳහා පමණක් සීමිත ධාරාවෙන් විභාග අවස්ථාව පෙන්වා ඇතත් ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය වැනි සේවාවන් සඳහා අදාළ ගැසට් නිවේදනය මගින් පෙන්වා ඇත්තේ විවෘත ධාරාව පමණි.

ඒ අනුව ස්ථීර රාජ්‍ය සේවකයින් සඳහා මෙතෙක් පැවති සීමිත තරග විභාග අවස්ථාව අහිමි කිරීමේ අවධානමක් මතුවිය හැකි අතර ඊට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට අප සංගමය තීරණය කර ඇත.