හෙද නිලධාරින් රාජකාරිවලින් ඉවත්වීමේ සූදානමක්

හෙද නිලධාරින් රාජකාරිවලින් ඉවත්වීමේ සූදානමක්

කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන්ට බලපා ඇති ගැටළු 2021.05.31 දිනට පෙර නොවිසඳන්නේ නම් හෙද හෙදියන්ට අදාළ නොමැති සියළු රාජකාරිවලින් ඉවත්වන බව සමස්ත ලංකා හෙද සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මේ මොහොත වනවිට කොරෝනා ව්‍යාප්තිය ඉතාමත්ම බරපතල ලෙස වැඩිවෙමින් තිබෙන අතර, ෙකොරෝනා රෝගීන්ට අදාළ ප්‍රතිකාර කටයුතුවල නියුතු හෙද හෙදියන් ඉතා විශාල පිරිසක් කොරෝනා ආසාදනයට ගොදුරු වී තිබේ. තවත් විශාල පිරිසක් නිරෝධානයට ලක්කර ඇත. මේ සියළු තත්වයන් හමුවේ වුවද විවිධ දුෂ්කරතා හා ගැටළු ගණනාවක් දරා ගනිමින් අති බහුතරය කාන්තාවන් වන පිරිසක් සිය රාජකාරියට පැමිණෙමින් සිටී.

එසේ සේවයට පැමිණෙන හෙද කාර්ය මණ්ඩලයට බලපා තිබෙන ගැටළු විසඳා ගැනීමට හා ආරක්ෂිතව ප්‍රතිකාර කටයුතුවල නිරත වීම සඳහාත් සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුළු සෞඛ්‍ය බලධාරින්ගෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කර

ඇත. කොරෝනා වසංගතය ඇති වී වසර දෙකක් පමණ ගත වුවද එම ගැටළු විසඳා දීම වෙනුවෙන් ආණ්ඩුවත්, සෞඛ්‍ය බලධාරිනුත් අවශ්‍ය නිසි ක්‍රියාමර්ග මේ වනතෙක් ගෙන නොමැත.

2021.05.19 දින සෞඛ්‍ය ඇමතිතුමියගේ උපදෙස් මත හෙද වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යාශංයට කැඳවා හෙද හෙදියන්ට මේ මොහොතේ බලපා තිබෙන ගැටළු පිළිබඳ සාකච්ඡාවක් සිදුකරන ලදී. එහිදී සෞඛ්‍ය බලධාරීන්ට පහත

ගැටළු ඉදිරිපත් කර ඉතා කඩිනමින් විසඳුම් ලබාදෙන අප සංගමය ඉල්ලා සිටින ලදී.

  1. අවිධිමත්ව රෝහල් පුරා ඇතිකර තිබෙන කොරෝනා වාට්ටු විධිමත් ලෙස ස්ථාපිත කර ඒවාට අවශ්‍ය සියළු පහසුකම් ලබාදෙන ලෙසත් බලහත්කාරී ලෙස කොතලාවල ආරක්ෂිත විද්‍යා පීඨයේ දැඩි සත්කාර ඒකකවලට අනුයුක්ත කළ හෙද නිලධාරීන් 19 දෙනෙකුටත් නෙවිල් ප‍්‍රනාන්දු රෝහලට අනුයුක්ත කළ හෙදියන් නිලධාරීන් 03 දෙනෙකුටත් කොවිඩ් ආසාදිත වීම සම්බන්ධව සොයාබලා එම නිලධාරීන්ගේ ආරක්ෂාවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම,
  2. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ විශේෂ ලිපියකින් සියළු හෙද හෙදියන්ට 2021.05.31 දක්වා ලබාදී තිබෙන දින 08ක විශේෂ නිවාඩුව ඉදිරියටත් ලබාදෙන ලෙස,
  3. ගර්භණී හෙද නිලධාරින්ගේ ආරක්ෂාව හා නිවාඩු සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ යුතු චක්‍රලේඛය වහා නිකුත් කිරීම,
  4. සියළුම හෙද හෙදියන් සඳහා රු. 5000 ක අනතුරු දීමනාවක් ලබාදීම,
  5. හෙද හෙදියන්ගේ පවුල්වල මව, පියා, කලත්‍රයා ඇතුළු පවුලේ ආසන්නතම සාමාජිකයින් සඳහා එන්නත් ලබාදීම,
  6. මැයි මස 24, 25 දින රජය ප්‍රකාශයට පත්කර ඇති ප්‍රසිද්ධ නිවාඩු දිනයන්හි වැඩ කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දීමනාව හෙද හෙදියන්ට ලබාදීමට අනුමැතිය ලබාදීම,
  7. 2021.05.21 දින සිට සංචරණ සීමා පැනවීම හමුවේ නැවත වරක් හෙද හෙදියන්ට ඇතිවන ප්‍රවාහන දුෂ්කරතා විසඳීම වෙනුවෙන් විධිමත් ප්‍රවාහන ක්‍රමවේදයක් සැලසීම,
  8. කොවිඩ් ආසාදනය වන හා නිරෝධායනයට ලක්කරන හෙද කාර්ය මණ්ඩලයට අවශ්‍ය පහසුකම් නිසිලෙස ලබා නොදීම.

උක්ත කරුණු සම්බන්ධයෙන් 2021.05.31 දිනට පෙර විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ නම් මේ වනවිට හෙද කාර්ය මණ්ඩලය මත පටවා තිබෙන ඔවුන්ට අදාළ නොවන සියළු රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇති බව දැනුම් දෙමු.