චක්‍රලේඛ හා ලිපි නිකුත් කරමින් ගුරුවරුන් පීඩාවට පත් නොකරන ලෙස ඉල්ලයි

චක්‍රලේඛ හා ලිපි නිකුත් කරමින් ගුරුවරුන් පීඩාවට පත් නොකරන ලෙස ඉල්ලයි

ආණ්ඩුවේ වගකීම් ඉටු නොකර සිදුකරන පීඩාකාරී චක්‍රලේඛ හා ලිපි නිකුත් කරමින් තවදුරටත් ගුරුවරුන් පීඩාවට පත්කරන අධීක්‍ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දැඩි විරෝධය පලකරන බව ලංකා ගුරුසේවා සංගමය අධ්‍යාපන අමාත්‍ය ජී. ඇල්. පීරිස් මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, 

මෙවර රටතුල කොවිඩ් වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වීමත් සමග මුලූමනින්ම බිඳවැටී ඇති 45 ලක්‍ෂයක් පමණ වන සිසු දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා යථාවත් කිරීම සඳහා මේ වන විට ආර්ථික ගැටලූ රැසක් මැද සැලකිය යුතු කාලයක් තම පෞද්ගලික වියදමින් කාලය, ශ්‍රමය කැප කරමින් මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ ගුරුවරුන් ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටින බව ඔබට අප අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත.

02. එසේ තිබියදී ඒ සඳහා කිසිදු දීමනාවක් හෝ පහසුකමක් ලබා නොදෙන ආණ්ඩුව අධ්‍යාපන ලේකම්වරයා මගින් චක්‍රලේඛ හා ලිපි නිකුත් කරමින් තවදුරටත් ගුරුවරුන් පීඩාවට පත්කරන අධීක්‍ෂණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව දැඩි විරෝධය පලකරන ලංකා ගුරුසේවා සංගමය මෙවැනි වගකීම් විරහිත ක්‍රියාමාර්ග වහාම හකුලා ගන්නා ලෙස බලකර සිටිමු.

"මෙම මාර්ගගත අධ්‍යාපනය සහ දරුවන්ගේ ගෙදර වැඩ පරීක්‍ෂා කිරීම සඳහාද විශාල කාලයක් වෙන් කිරීමට සිදුව තිබීම නිසා තවදුරටත් ගුරුවරුන් මත අමතර බරක් හා පීඩනයක් එල්ල කර ඇත".

03. මෙවර සමස්ත පාසල් පද්ධතිය වරින් වර කෙටි කාලයකට විවෘත කලද වසරකට අධික කාලයක් වසා දමා ඇත. එවැනි තත්වයක් තුල ආණ්ඩුව පසුගිය වර්ෂයේ ඉදිරිපත් කල අයවැය මගින් අධ්‍යාපනය සඳහා වෙන්කල බොහෝ වැය ශීර්ෂ ඉතිරිව ඇති වටපිටාවක් තුල ඒ කිසිදු මුදලක් මෙම සිසුන්ගේ ඉගැන්වීම් ක්‍රියාවලිය යථාවත් කිරීම සඳහා යෙදවීමට මෙතෙක් කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි.

04. ලංකා ගුරුසේවා සංගමය විසින් දරුවන්ගේ බිඳ වැටී ඇති අධ්‍යාපනය යතාවත් කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළද ඒ කිසිවක් සැලකිල්ලට ගැනීමට ඔබ විසින් අපොහොසත් වී ඇත. එහෙයින් වසරකට අධික කාලයක් මුලූමනින්ම බිඳ වැටී ඇති මෙරට අධ්‍යාපනය යාවත්කාලීන කිරීමට නම් ඒ සඳහා මේ මොහොතේ ආණ්ඩුවට ඉතිරිව ඇති එකම විකල්පය ලෙස මාර්ගගත (Online) අධ්‍යාපනය බාධාවකින් තොරව පිවිසීමට අවශ්‍ය දත්ත, (data) හා මෙවලම් ඇතුලූ පහසුකම් නොමිලේ ලබාදීමටත්, අන්තර්ජාල පහසුකම් පුලූල් කිරීමටත් මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමට කටයුතු කරන ලෙස ලංකා ගුරුසේවා සංගමය බලකර සිටිමු.