ඇඟළුම් කම්හල වල කොවිඩ් ව්‍යාප්තියට කම්කල් හිමියන් හා කම්කරු දෙපාර්තමේන්තුව වගකිය යුතුයි

ඇඟළුම් කම්හල වල කොවිඩ් ව්‍යාප්තියට කම්කල් හිමියන් හා කම්කරු දෙපාර්තමේන්තුව වගකිය යුතුයි

රටපුරා ඇඟලුම් කම්හල් වල කෝවිඩ් 19 ආසාදනය වීමට හාම්පුතුන් සහ කම්කරු දෙපාර්තමේන්තුව වගකිව යුතු බවට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය විසින් කළ ප්‍රකාශයට කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයට නැවත කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යවමින් එය වගකීමෙන් යුතු ප්‍රකාශයක් බව දක්වා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

පසුගිය මාර්තු 23 වන දින අප සංගමය නිකුත් කළ නිවේදනයෙහි කෝවිඩ් -19 වසංගතය අපනයන නිෂ්පාදන කම්හල් ඇසුරෙන් විශේෂයෙන් ඇඟලුම් කම්හල් ඇසුරෙන් පැතිරීම සම්බන්ධව වගකිව යුත්තේ හාම්පුතුන් සහ කම්කරු දෙපාර්තමේන්තුව යැයි තිබූ සඳහන් සාවද්‍ය සහ ද්වේශසහගත ප‍්‍රකාශයක් යැයි ඔබ විශේෂ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා ඇත. ඒ ගැන අපි පුදුම වන්නෙමු.

අපගේ චෝදනා සාවද්‍ය සහ ද්වේශසහගත යැයි කීමට ඔබ යොදා ගන්නා ප‍්‍රධානම කතාව වන්නේ ගරු කම්කරු ඇමතිවරයාගේ උපදෙස් මත තුල්හිරියේ ‘‘මාස් ෆැබ්රික් පාක්’’ ආයතනයෙන් වාර්තා වූ විශාල සේවක ආසාදන සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව සිදු කළ පරීකෂණය වන්නේය. එම පරීක්ෂණයේදී එහි ‘‘කම්කරු දෙපාර්තමේන්තුව උපදෙස් පරිදි සෞඛ්‍ය කමිටු පිහිටුවා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කර තිබූ බවත් එම සෞඛ්‍ය කමිටු සතියකට වරක් රැස්ව සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටි බවත් සාක්ෂි සහිතව තොරතුරු වාර්තා වී ඇත.’’ යනුවෙන් ඔබගේ මාධ්‍ය නිවේදනයේ සඳහන්ව ඇත.

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් මතුවන සේවක ගැටළු පිළිබඳ කම්කරු ඇමතිවරයාගේ සභාපතිත්වයෙන් වන කාර්ය සාධන කමිටුව පසුගිය නොවැම්බර 16 වන දින තීන්දු කළ පරිදි එම සෞඛ්‍ය කමිටු පිහිටු විය යුත්තේ සේවකයින් විසින් තම නියෝජනය තීන්දු කිරීමෙන් යැයි කම්කරු දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබුණේ දැයි අපි නොදනිමු. තුල්හිරියේ ‘‘මාස් ෆැබ්රික් පාක්’’ ආයතනයේ එකී කමිටු එහි සේවකයින් විසින් තීන්දු කළ සේවක නියෝජනයක් සමගින් තිබුණි යැයි කීමෙන් ඔබ වැළකී ඇත.

අපගේ තොරතුරු වලට අනුව, එවැනි සෞඛ්‍ය කමිටු මාස් හෝල්ඩිං සමූහයට අයත් කම්හල් වල පිහිටුවා නැත. පානදුර හා කොග්ගල විශාල සේවක ආසාදන වාර්තා වූ යුනිචෙලා කම්හල් වල එවැනි සෞඛ්‍ය කමිටු නොවුනි. කෝවිඞ්-19 ආසාදන වාර්තා වූ සහ එක් ආසාදිතයෙකු මිය ගිය රිදීමාලියැද්දේ ස්ටෙ‍්‍රච්ලයින් කම්හලේද එවැනි කමිටු නොවුනි.

එවගේම විශාල ආසාදන තිබූ කොග්ගල එස්කුවේල් සහ බ‍්‍රැන්ඩික්ස් කම්හල් වලද සේවක නියෝජන සහිත සෞඛ්‍ය කමිටු පිහිටුවා නොතිබුණි. වෙනකක් තබා එස්කුවෙල් කලමනාකාරිත්වයට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් අධිකරණයට වාර්තාකර තිබූයේ ඔවුන් ආසාදිතයින්ගේ පළමු පෙළ ආශි‍්‍රතයින් සම්බන්ධ තොරතුරු නොදුන් බව සහ වසංගතය පැතිරීම වළකාලීමට පියවර ගෙන නොතිබූ බවය. එවැනි පසුබිමක රට පුරා කම්හල් වල සෞඛ්‍ය කමිටු පිහිටුවා ඇතැයි ඔබ කියන පදනම අපට තේරුම් ගත නොහැක.

කෙසේ නමුත් කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස ඔබ පවසා ඇති අයුරු කෝවිඞ්-19 වසංගතය සම්බන්ධයෙන් කරන ලද තුල්හිරිය පරීක්ෂණයේ දී එවැනි සෞඛ්‍ය කමිටු පැවති බවට සාක්ෂි සහිත තොරතුරු ඇත.

මීට පෙර පසුගිය ඔක්තෝම්බර මස ආරම්භයේ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලේද විශාල ලෙස සේවකයින් ආසාදනය වූයෙන් ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් කෙරිණ. එහෙත් මේ වන තෙක් ඒ වාර්තාව ප‍්‍රසිද්ධියට පත්කර නැත. එය එසේ වූවත් තුල්හිරියේ ආසාදන ගැන සහ ඔබ පවසන සෞඛ්‍ය කමිටු පිළිබඳව සියලූ තොරතුරු ඇතුළත් පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව ජුනි 02 වන දිනට නියමිත කාර්ය සාධන කමිටු රැස්වීමට ඉදිරිපත් කරන මෙන්ද ඒ සමගම තොරතුරු දැන ගැනීමට සේවක සේවිකාවන්ට ඇති අයිතිය සහතික කිරීම වෙනුවෙන් එය ප‍්‍රසිද්ධියට පත් කරන මෙන්ද අපි ඔබගෙන් මෙයින් ඉල්ලා සිටිමු.

එවගේම සේවක නියෝජන සහිත කම්හල් සෞඛ්‍ය කමිටු පිහිටුවීමට පසුගිය නොවැම්බර කාර්ය සාධන කමිටු රැුස්වීමේදී ගනු ලැබූ තීන්දුව සමග ඔබගේ මූලිකත්වයෙන් කමිටු පිහිටුවීම පිළිබඳවත් ඒවායේ කි‍්‍රයාකාරිත්වය නියාමනය කිරීමටත් සති පතා අනු කමිටුවක් රැස්විය යුතු යැයිද ඒ සම්බන්ධ වාර්තා කාර්ය සාධන කමිටුවට ඉදිරිපත් කළ යුතු යැයිද තීන්දු කෙරිණ. පසුගිය කාර්ය සාධන කමිටු රැස්වීමේ සිට සිංහල-දෙමළ අළුත් අවුරුදු කාලය අතහැර ගතහොත් මේ වන විට අනු කමිටු රැස්වීම් 10 ක් හෝ පවත්වා තිබිය යුතුය. එම වාර්තාද ජුනි 02 වන දින කාර්ය සාධන කමිටු රැුස්වීමට ඉදිරිපත් කරන මෙන් අපි මෙයින් ඉල්ලමු.

ඒ සමග ඔබ ඔබගේ නිවේදනයේ සඳහන් කර තිබූ සෞඛ්‍ය කමිටු පිහිටුවා නොතිබිම කෝවිඞ් පැතිරීමට හේතුවක් යැයි අප සංගමයේ ස්ථාවරය විද්‍යාත්මක නොවන්නේ යැයි වන සඳහන ගැනද කෙටියෙන් පැහැදිලි කළ යුතුව ඇත. කෝවිඩ් -19 වසංගතය ගැන කටයුතු කිරිමට සේව්‍ය සේවක දෙපාර්ශවයෙන් සැදුම් ලත් කම්හල් සෞඛ්‍ය කමිටු පිහිටුවන ලෙස වෘත්තීය සමිති විසින් යෝජනා කරන ලද්දේ වැඩ ලෝකය පිළිගත් පහතින් දැක්වෙන විද්‍යාත්මක පදනම අනුව ය.

‘‘සෞඛ්‍ය’’ යනු සේවක අයිතියකි. තම සේවා ස්ථානයේ ‘‘සෞඛ්‍යමය තොරතුරු දැන ගැනිමේ අයිතිය’’ ඒ අනුව සේවකයින්ට ඇත. තමන්ගේ සෞඛ්‍යයට අහිතකර සේවා වන්හි සේවයේ නොයෙදිමේ අයිතිය සහ තම සේවා ස්ථානයේ ‘‘සෞඛ්‍ය ආරක්ෂාවට ගනු ලබන තීරණ වලට සහභාගිවිමේ අයිතිය’’ සේවක අයිතියකි.

කෝවිඞ් 19 වසංගතය සම්බන්ධයෙන් කම්හල් වල කටයුතු කිිරිම සඳහා පිහිිටුවිමට තීරණය කරන ලද ද්විපාර්ශවික සෞඛ්‍ය කමිටු එම සේවක අයිතිය තහවුරු කරන්නක් වාගේම ඒවා නිසි ලෙස පත්කර කටයුුතු කරන්නේ නම් මෙම වසංගතය පැතිරිම අවම කර ගැනිමටද හැකි වනු ඇත.

එහෙත් බොහෝ ආයතන කෝවිඞ් 19 වසංගතය පිළිබද කටයුතු කිරිමට මෙම ද්විපාර්ශවික කමිටු පත් කර නැත. ඒ වෙනුවට ඔවුන් කතා කරන්නේ සහ ඔබ කියනු ඇත්තේ සාම්ප‍්‍රදායිකව පිහිටුවනු ලබන ‘‘වෘත්තිය සෞඛ්‍ය කමිටු’’ (Occupational Health and Safety Committees) පිළිබඳවය. ඒවා පිහිටුවන්නේ හදිසි වෘත්තිය සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් මිස, වසංගත පාලනයට නොවේ. එවගේම එම කමිටු අනිවාර්ය සේවක නියෝජනයක් සමගින් පිහිටවනු නොලැබේ. සේවකයින් ඇතැම් විට ඇතුළු කර ගන්නේ තාක්ෂණික සේවා සඳහා ය. එබැවින් එම කමිටු කම්හල් සෞඛ්‍ය කමිටු වෙනුවෙන් ආදේශ කරගත නොහැකි අතර ආදේශක ලෙස නොපිළිගත යුතුය.

කෝවිඞ්-19 වයිරසය පැතිරීම වසංගතයක් බැවින් එය වැලැක්විම සඳහා ගත යුතු පියවර කර්මාන්ත ශාලාවෙන් පිටතටද අදාල වන්නේය. සේවක නේවාසිකාගාරවල විශබිජහරණය, සේවක ප‍්‍රවාහන පහසුකම් සෞඛ්‍ය ක‍්‍රමවේදයට අනුකූලව පවත්වා ගැනීම ඇතුලූ බොහෝ පියවර මෙම වසංගතය පැතිරිම වැලැක්විමට ගත යුතුව ඇත. එබැවින් සැබෑ සේවක නියෝජනයක් සමග පත්වන සෞඛ්‍ය කමිටු මගින් මෙම වසංගතය වැලැක්විම සදහා තීරණ ගැනිම ඉතා වැදගත් ය.

අවසන් වශයෙන් ඔබගේ පූකාශනයෙහි මෙවැනි සෞඛ්‍ය කමිටු පිහිටුවා නැති ආයතන පිළිබඳව දන්වන ලෙස ඇන්ටන් මාකස් මහතාටද දන්වා සිටි නමුත් එවැනි ආයතන පිළිබදව ඇන්ටන් මාකස් මහතා දන්වා නැති බව සදහන් කර තිබුණි. සාවද්‍ය ප‍්‍රකාශ යනු එවැනි ප‍්‍රකාශ ය. 2021 මාර්තු මස 03 වන දින ත්‍රෛපාර්ශවික කාර්ය සාධන කමිටු රැස්වීමේදි සෞඛ්‍ය කමිටු පිහිටුවා නැති ප‍්‍රධාන ආයතන 03 ක් එනම් කටුනායක නිදහස් වෙළද කලාපයේ චිප්වේ කටුනායක ගාමන්ට් සහ නෙක්ස්ට් මැනුෆැක්චරි ඇඟලූම් ආයතනයත් සුමිත‍්‍රා ගාමන්ට් සතු නිට්ටඹුව කර්මාන්ත ශාලාවත් නිදසුන් ලෙස දක්වන ලදී. එය එම රැස්වීම් වාර්තාවෙහිද ඇතුළත්ව ඇත.

ආයෝජන සමාගම් හා හාම්පුතුන්ගේ අවශ්‍යතා පිළිබඳව කටයුතු කිරිමට මුදල් අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වැනි ආයතන ගණනාවක් තිබුණද පුද්ගලික අංශයේ සේවකයින් සම්බන්ධයෙන් ඇත්තේ කම්කරු දෙපාර්තමේන්තුව පමණි. එය තම වගකීම් ඉටු නොකරමින් අකර්මන්‍යව තිබීම ගැන කරනු ලබන විවේචන සාවද්‍ය සහ ද්වේශසහගත යැයි හුවා දැක්විමට ඔබ කම්කරු කොමසාරිස් ජනරාල් වශයෙන් උත්සාහ දැරිම ගැන අපගේ කණගාටුව අපි මෙයින් පල කරන්නෙමු.