මාධ්‍යම රජයෙන් හැලෙන පාසල් ස්වභාවික මරණයකට ?

මාධ්‍යම රජයෙන් හැලෙන පාසල් ස්වභාවික මරණයකට ?

පාසල් දහසක් පමණක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ සෙසු පාසල්වලට ස්වභාවික මරණයක් අත්කර දීමට ද? යන්න ප්‍රශ්ණ කරමින් ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිය සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,

මේ වන විට කෝවිඩ් 19 වසංගත ව්‍යාප්තිය තුළ ලංකාවේ පාසල් අධ්‍යාපනය මුළුමනින් ම අඩාල වී ඇති අතර, බරපතල ගැටලූ ගණනාවකට අධ්‍යාපනය මුහුණ පා සිටී. ඒ අතර පාසල් නැවත විවෘත කිරීම, පාසල් ළමුන්ගෙන් 60% කට පමණ අධ්‍යාපනය ලැබීමේ විකල්ප ක‍්‍රමවේදයක් නොමැතිවීම, ජාතික විභාග පැවැත්වීම, 2020 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රායෝගික පරීෂක්ණ සිදු කිරීමට නොහැකි වීම තුළ ප‍්‍රතිඵල නිකුත් කළ නොහැකි වීම  ඇතුළු කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ගැටලූ ගණනාවකි.

එසේ තිබියදී ආණ්ඩුවේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රමුඛ කාර්යය බවට මේ වන විට පත්ව ඇත්තේ පාසල් දහසක් ජාතික පාසල් ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමේ කාර්යයි. කෝවිඞ් 19 වසංගතය පැතිර යමින් පැවතීම හේතුවෙන් දින නියමයක් නොමැතිව පාසල් වසා තිබියදීම මේ සම්බන්ධයෙන් දැවැන්ත ප‍්‍රචාරක ව්‍යාපෘතියක නිරත වන රජය එළඹෙන ජුනි 10 දින ජාතික පාසල් දහසක් විවෘත කිරීමේ කටයුත්තක් ද සංවිධානය කර තිබුණි. ප‍්‍රදේශයේ මන්ත‍්‍රීවරයා ඇතුළු 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම විවෘත කිරීමේ උත්සව සංවිධානය කිරීමට කටයුතු යොදා තිබුණි. එසේම මෙසේ ප‍්‍රතිනිර්මාණය කෙරෙන එක් ජාතික පාසලක සංවර්ධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දෙන බව පැවසූවද මේ දක්වා කිසිදු පාසලකට මෙම මුදල ලැබී නැති අතර, රුපියල් ලක්ෂ 3 ක් වැය කර පාසලේ නාම පුවරුව සකස් කිරීම හා තීන්ත ආලේප කිරීම කළ යුතුය. විවෘත කිරීමට යන්නේ මෙසේ සකසන ලද නාම පුවරුය.

කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව මෙම පාසල් තෝරාගෙන ඇති අතර සිසුන් 750 ට වැඩි පළාත් සභා පාසල් මේ සඳහා තෝරාගෙන ඇති අතර, සමහර පාසල් පළාතේ මන්තී‍්‍රවරයාගේ අවශ්‍යතාව මත තෝරාගෙන ඇත. එසේම පසුගිය දිනවල පාසල් විවෘත කිරීමට අදාළව Zoom තාක්ෂණයෙන් රැස්වීම් සංවිධානය කරන ලද්දේ අදාළ මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අධ්‍යාපන නිලධාරීන් ද අසරණ කරමිනි. මෙය තවදුරටත් අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය කිරීමකි. රටේ ප‍්‍රධාන නගරවල පවතින බහුතරයක් ජනපි‍්‍රය පාසල් මේ සඳහා ඇතුළත් වී ඇත. ආණ්ඩුවට සැබෑ ලෙසම පාසල් සංවර්ධනය කිරීමේ උවමනාවක් පවතින්නේ නම් පළාත් සභා විසින් සංවර්ධනය කරන ලද ජනපි‍්‍රය පාසල් පමණක් ජාතික පාසල් කිරීමට තෝරා නොගෙන ජනපි‍්‍රය නොවන සෙසු කුඩා පාසල් සංවර්ධනය කිරීමට කටයුතු කළ යුතුව තිබුණි. පළාත් සභා, ජනතා නියෝජිතයින් මගින් කි‍්‍රයාත්මක නොවන අවස්ථාවකදී පළාත් සභා විසින් සංවර්ධනය කරන ලද මෙම පාසල් පළාත් සභාවල කිසිදු විමසීමකින් තොරව මේ ආකාරයෙන් රේඛීය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම 13 වැනි ව්‍යාවස්ථා සංශෝධනය යටතේ පළාත් සභාවලට පවරන ලද බලතල ආපසු පවරා ගැනීමකි. එසේම මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ද පටහැනි කි‍්‍රයාවකි.

13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 3 වන පරිශිෂ්ඨයෙහි දක්වා ඇති සමගාමී ලැයිස්තුව තුළ පාසල් සම්බන්ධයෙන් විධිවිධාන දක්වා ඇති අතර, රේඛීය අමාත්‍යාංශයට හිමි වන්නේ නිශ්චිත පාසල් සහ හමුදා සාමාජිකයන්ගේ දරුවන් සඳහා වෙන්කරන ලද පාසල්ය. නිශ්චිත නොවන පාසල් පළාත් සභා සතුවන අතර රේඛීය අමාත්‍යාංශයට කළ හැක්කේ අධීක්ෂණ හා කළමනාකරණ කටයුතු පමණි. එම විධිවිධානවලට අනුව විශේෂිත සංවර්ධන කටයුත්තක් සඳහා රේඛීය අමාත්‍යාංශයට පාසල් වෙන් කර ගත හැකි වුවත් ඒවා පැවතිය යුත්තේ පළාත් සභා සතුවය.

පාසල් දහසක් ජාතික පාසල් කිරීමේ මෙම කි‍්‍රයාවලිය තුළ දැනට පාසල් පද්ධතිය තුළ සිටින ලක්ෂ 43 ක් පමණ වන සමස්ත සිසුන්ගෙන් 60% කට ආසන්න ප‍්‍රමාණයක් රේඛීය අමාත්‍යාංශයේ පාලනය යටතට පත්වේ. දැනටමත් රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන ජාතික පාසල් 373 න් පාසල් 172 කට විදුහල්පතිවරු පත්කිරීමට වසර දෙකක් තිස්සේ අපොහොසත්ව සිටින අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ආකාර විශාල සිසු පිරිසකගේ පරිපාලන කටයුතු සිදුකිරීමේ යාන්ත‍්‍රණයක් පවතීද යන්න ද ගැටලූ සහගතය. එසේම පළාත් රාජ්‍ය සේවය යටතේ කටයුතු කරන මෙම පාසල්වල ගුරුවරු, විදුහල්පතිවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පරිපාලන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ද කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා සකස් කර නැත.

කනගාටුදායකම තත්වය වන්නේ මෙසේ පාසල්  1000 ක් පමණක් සංවර්ධන කිරීමෙන් සෙසු කුඩා පාසල් වැසීයාමේ තත්වයක් නිර්මාණය වීමයි. එසේම 10174 ක් වන සමස්ත පාසල් වලින් පාසල් 1000 ක් පමණක් සංවර්ධනය කිරීම තුළ සෙසු පාසල් නොසකා හරින තත්වයක් උද්ගත වන්නේ ද යන්න බරපතල ගැටලූවකි. පාසල් දහසක් පමණක් සංවර්ධන කිරීමේ සැලසුම් වරින් වර බලයට පත් වූ සෑම රජයක් යටතේ ම පෙරට ගෙන ආ අතර, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස කටයුතු කරද්දී නවෝද්‍යා පාසල්, සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කරද්දී ඉසුරු පාසල්, බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කරද්දී ද්විතීයික පාසල් දහසක් සහ ප‍්‍රාථමික පාසල් පන්දහසක්, අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කරද්දී ළඟම පාසල හොඳම පාසල ආදී ලෙස විවිධ නම්වලින් කි‍්‍රයාත්මක විය. මෙම ව්‍යාපෘති සඳහා අති විශාල මුදල් ප‍්‍රමාණයක් වෙන්කර තිබුණ ද එම සියලූ ව්‍යාපෘති අපේක්ෂිත අරමුණු කරා ළඟා නොවූ අතර, මේ දක්වා එම පාසල් සංවර්ධන වීම ද සිදු නොවීය.  නමුත් එම පාසල්වල පරිපාලන ගැටලූ නිර්මාණය නොවූයේ ඒවා පළාත් සභා පරිපාලනය යටතේම පැවතීම නිසාය. එහෙත් වර්තමානයේ කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇති ජාතික පාසල් 1000 ක් නිර්මාණය කිරීම යටතේ මෙම පාසල් 1000 පළාත් සභාවලින් මධ්‍යම රජයට පවරා ගැනීම සිදුවන අතර, එය ඉදිරියේ දී බරපතල පරිපාලන ගැටලූ නිර්මාණය කිරීමේ කි‍්‍රයාවලියක් ද වනු ඇත.

රජය ගෙන යන ප‍්‍රචාරක ව්‍යාපෘතිය තුළ ප‍්‍රශස්ත අධ්‍යාපනයක් ලැබීමට තම දරුවන් ජාතික පාසලකට ඇතුළත් කළ යුතුය යන අදහසක් දෙමාපියන් තුළ ජනිත වන අතර, ගුරුවරු, විදුහල්පතිවරු ඇතුළු සියලූ පාර්ශවයන් මෙම ප‍්‍රචාරක ව්‍යාපෘතියේ ගොදුරු බවට පත්කර තිබීම බරපතල කනගාටුදායක තත්වයකි. අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 6% ක් වෙන් කිරීමට බලකෙරෙමින් තිබියදී ආණ්ඩුව කඩිමුඩියේ මේ සැරසෙන්නේ 10174 ක් වන සමස්ත පාසල් පද්ධතියෙන් අඩක් පමණ වන පාසල්වලට ස්වභාවික මරණයක් අත්කර දීමට ද යන සැකය මතු වේ.  එසේ වුවහොත් එය අධ්‍යාපන වැය සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුකර ගැනීමේ ආණ්ඩුවේ උපායමාර්ගයක් වනු ඇත. මෙම තත්වය තුළ නිදහස් අධ්‍යාපන අවස්ථා ක‍්‍රමයෙන් සීමා වී පාසල් අධ්‍යාපනය මුදල් වැයකර ලැබීමට සිදුවීම, සම අධ්‍යාපන අවස්ථා නොලැබීම හා අධ්‍යාපනය ලැබීමේ මූලික අයිතිය පවා අහිමි වීමේ බියජනක අඳුරු සෙවනැලි මෙම ජාතික පාසල් 1000 ව්‍යාපෘතිය තුළ සගවා ඇති බව ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී.