පොදු දේපල විකිණීමට එරෙහිව මැදිහත් වන ලෙස ලංකා බැංකු සේවක සංගමයෙන් ඉල්ලීමක්

selandiva

රට තුළ මතු වී ඇති වසංගත තත්වය ප‍්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව විසින් ප‍්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් අතිශය වටිනාකමකින් යුතු රටේ මහජනතාවට අයිති පොදු දේපල මේ ආකාරයට අපහරණයට ලක්කරමින් විකුණා දැමීමට ගෙන ඇති තීරණයට එරෙහිව වහා මැදිහත්වීමේ අවශ්‍යතාවය දැඩි ලෙස පැන නැඟී ඇති බව දක්වමින් සියළුම ස්වාමීන් වහන්සලා ඇතුළු පූජක පක්ෂයට හා සියළුම ජනතා නියෝජිතයින් වෙත ලිපියක් යවමින් ලංකා බැංකු සේවක සංගමය ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, විවෘත ආර්ථිකයේ ආගමනයත් සමඟ අපේ රටේ ජනතාව සතුව තිබූ ඉඩම්, රාජ්‍ය ආයතන මෙන්ම ශක්තිමත්ව පවත්වාගෙන ගිය කර්මාන්ත ශාලා විශාල සංඛ්‍යාවක් පෞද්ගලිකකරණය කරමින් සිදුකරන ලද සහාසික අපරාධය හේතුවෙන් සිදුවී ඇති අතිවිශාල හානියට රටක් ලෙස වන්දි ගෙවමින් සිටිමු. මෙලෙස පෞද්ගලීකරණයට ලක්කරන ලද්දේ අපේ රටේ ආර්ථිකයට සහ භූදේශපාලනයට දැවැන්ත වටිනාකම් එක්කරන ලද රාජ්‍ය දේපල වන අතර ඇතැම් පෞරාණික මෙන්ම සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් දේපලද මෙලෙස සමස්ත පුරවැසියන්ට අහිමි කිරීමටිි මේ හරහා කටයුතු කර ඇත.

දැනට විදේශිකයන්ට විකුණා ඇති රාජ්‍ය දේපල නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බවට ප‍්‍රතිඥා දෙමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවද පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් කොළඹ කොටුවේ පිහිටි ඓතිහාසික, අතිවිශාල වටිනාකමකින් යුතු මෙන්ම පුරාවිද්‍යාත්මකව මිළ කළ නොහැකි විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, ගෆූර් ගොඩනැගිල්ල, ලංකා බැංකුවට අයත් යෝර්ක් වීදිය ගොඩනැගිල්ල (GOH Building), මහ තැපැල් කාර්යාලය ඇතුළු ගොඩනැගිලි රාශියක් රාජ්‍ය අයිතියෙන් බැහැර කරමින් පෞද්ගලික ආයෝජකයින් වෙත පැවරීමට තීරණය කර ඇත.

කොළඹ කොටුව ප‍්‍රදේශයේ ඇති ආර්ථික මර්මස්ථානයන් මෙන්ම ඓතිහාසික, සංස්කෘතික මෙන්ම පුරාවිද්‍යාත්මකව අති විශාල වටිනාකමකින් යුතු ගොඩනැගිලි මේ ආකාරයට පුද්ගලික අංශයට පැවරීමට  ගන්නා ලද තීරණය නතර කරන මෙන් සංගමය දේශපාලන අධිකාරිය වෙත දැනුම් දී ඇත. එමෙන්ම මෙම අපරාධයට එරෙහිව කටයුතු කිරීමට අප සංගමය ඇතුළු ස්වාධීන වෘත්තීය සමිති රාශියක් එක්ව පිහිටුවාගෙන ඇති ‘‘පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය’’ තීරණය කර ඇත.

තවද, මෙම ගොඩනැගිලි අතර ඇති 1955 අගෝස්තු මස 01 වන දින ලංකා බැංකුව විසින් මිලදී ගනු ලැබූ යෝර්ක් වීදිය ගොඩනැගිල්ල වසර 30 කට අධික කාලයක් ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලය ලෙස භාවිතා කරන ලදී.

කොළඹ කොටුවේ නව මූලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පසුව ප‍්‍රධාන කාර්යාලය එහි ස්ථාපනය කරන ලද අතර, පළාත් කාර්යාල ඇතුලූ දෙපාර්තමේන්තු හා ශාඛා ගණනාවක් යෝර්ක්වීදිය ගොඩනැගිල්ලේ සිට ක‍්‍රියාත්මක කරන ලදී. ඊට අමතරව ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය (GOH) එම ගොඩනැගිල්ලේ එක් පසෙක ක‍්‍රියාත්මක වේ.

පෞරාණික හා සංස්කෘතිමය වටිනාකමින් අනූන මෙම ගොඩනැගිල්ල ලංකා බැංකුවට අයත් වුවද එය පුරාවිද්‍යාත්මක වටිනාකමක්ද සහිත සමස්ත ජාතියේම අභිමානය විදහා දක්වන සංකේතයකි. එම ගොඩනැගිල්ල අයිති ග‍්‍රෑන්ඞ් ඔරියන්ටල් හෝටලය තුළ රුසියානු සාහිත්‍යධර සහ ශ්‍රේෂ්ඨ ගත්කතුවර ඇන්ටන් චෙකොව් කලාකරුවාණන් නැවතී සිටි කාමරය මෙන්ම කොළඹ වරාය ඉතා

දැකුම්කළු ලෙස දිස්වන දර්ශනයන්ගෙන්ද සමන්විත මුදලින් මැනිය නොහැකි වටිනාකමක් සහිත වත්කම් රාශියක් අඩංගුව ඇත.  

රට තුළ මතු වී ඇති වසංගත තත්වය ප‍්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අයුරින් අතිශය වටිනාකමකින් යුතු රටේ මහජනතාවට අයිති පොදු දේපල මේ ආකාරයට අපහරණයට ලක්කරමින් විකුණා දැමීමට ගෙන ඇති තීරණයට එරෙහිව වහා මැදිහත්වීමේ අවශ්‍යතාවය දැඩි ලෙස පැන නැඟී ඇත.

ඒ සඳහා ඔබ වහන්සේගේ/ඔබතුමාගේ සහයෝගය ඉතා ඉහලින් අපේක්‍ෂා කර සිටිමු.

එමෙන්ම සංචරණ සීමා ඉවත් කළ වහාම මේ සම්බන්ධයෙන් හමුවී සාකච්ඡා කිරීමටද අපේක්‍ෂා කරන අතර, පවතින දැඩි අවශ්‍යතාව මත ඊට ප‍්‍රථමයෙන් දුරකථන මාර්ගයෙන් හෝ වෙනත් තාක්‍ෂණික ක‍්‍රමවේද ඔස්සේ හෝ සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරමු.